ජනපති අද ජගත් මහ සමුළුව අමතයි

Wednesday, 21 September 2016 - 7:38

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AF+%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%B8%E0%B6%AD%E0%B6%BA%E0%B7%92
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 71 වන මහ මණ්ඩල සැසිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අද ඇමතීමට නියමිතයි.

ඊයේ මහා මණ්ඩල සැසිවාරය ආරම්භ වූයේ ලෝක නායකයන් 140කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන්.

මෙවර සැසිවාරයේ තේමාව වනුයේ තිරසාර සංවර්ධන ඉලක්ක - ගෝලීය වෙනසක් සඳහා විශ්වීය පෙළඹුමක් යන්නයි.

ප්‍රධාන තේමාවට අමතරව ලොව පුරා රාජ්‍යයන් රැසක් මුහුණ දී සිටින සරණාගතයන් සහ සංක්‍රමණිකයන් පිළිබද ගැටළුව ද මෙවර සමුළුවේදී විශේෂ අවදානයක් යොමු කරනවා.

මෙම සැසි වාරය අතරතුර දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇමරිකානු රාජ්‍ය නියෝජිත ආයතනයක් වන මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් හි ප්‍රධාන විධායක නිලධාරිනී ඩැනේ ජේ. හයිඩ් ඊයේ හමුවුණා.

එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ තිරසාර සංවර්ධනය සහ සංහිදියාව ශ්‍රී ලංකා රජයේ ප්‍රමුඛ අරමුණ බවයි.

එක්සත් ජාතීන්ගේ මහමණ්ඩල සැසියේ තේමාව වූ තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම මේ වන විටත් තම රජය විසින් ක්‍රියාත්මක කරමින් සිටින බව ද ඔහු එහිදී සදහන් කළා.

මෙරට තිරසාර සංවර්ධන අරමුණු ජය ගැනීමේ විශේෂ ව්‍යාපෘති සඳහා සහායවීමට මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ආයතනය ඉදිරිපත්ව සිටිනවා.

මාස 20ක කාලයක් තුළ ශ්‍රී ලංකා නව රජය ලබා ගත් ජයග්‍රහණ ඇමරිකානු රාජ්‍ය නියෝජිත ආයතනයේ ප්‍රධාන විධායකවරියගේ ප්‍රසාදයට ලක්වූ අතර, ඉදිරියේදී ශ්‍රී ලංකාව සමග සමීපව කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ද ඇය ප්‍රකාශ කළා.

ජගත් සංවිධාන මහ මණ්ඩල සැසියට එක්වූ රාජ්‍ය නායකයින් වෙනුවෙන් මහලේකම් බෑන් කී මූන් පිරිනමන ලද විශේෂ භෝජන සංග්‍රහයේදී අවශ්‍ය  ඕනෑම වෙලාවක ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට තමන් සූදානම් බව ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා ප්‍රකාශ කළ බව ද ජනාධිපතිවරයා මෙහිදී සදහන් කළා.

එමෙන්ම නව රජයේ ගමන් මඟ වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයාගේ පූර්ණ ආශිර්වාදය හිමි වූ බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

මහ මණ්ඩල සැසි වාරය අතරතුර ඊයේ දිනයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉන්දීය විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය එම්.ජේ. අක්බාර්,  ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න් බුල් ද හමුවුණා.

මේ අතර, ඊයේ මහ මණ්ඩල සැසිය අරඹමින් ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා සහ ජගත් සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන් ද අදහස් පළ කළා.