බඳගිරියේ තරුණයා ඇතුළු 4 දෙනා 30 දක්වා රිමාන්ඩ් (ඡායාරූප)

Wednesday, 21 September 2016 - 13:51

%E0%B6%B6%E0%B6%B3%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+4+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+30+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
හම්බන්තොට පොලිස් අත්අඩංගුවේ සිටියදී පැනගොස් සැඟව සිට පොලීසියට භාරවූ බඳගිරිය තරුණයා, ඔහුගේ සහෝදරියක සහ සහෝදරයින් දෙදෙනා ලබන 30 වනදා දක්වා  රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට අද නියෝග කෙරුණා.

ඒ ඔවුන් අද හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදියි.

වී සොරකමක් පිළිබඳ ලැබුණු පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගෙන සිටියදී පොලීසියෙන් පැන ගොස් මෙතෙක් බන්ධනාගාර ගතකර සිටි ජී.ජී. ගයේෂාන් නැමති මෙම තරුණයා  අද යළි අධිකරණයට රැගෙන එනු ලැබුවේ  විශේෂ බස්  රථයකින්.

මේ අතර ඊයේ දිනයේදී අත්අඩංගුවට පත්වූ මෙම තරුණයාගේ වැඩිමහල් සහෝදරයින් දෙදෙනෙකු සහ වැඩිමහල් සහෝදරිය අද පොලීසිය අධිකරණයට ඉදිරිපත් කළා.

ඒ අතරින් සහෝදරිය සහ සහෝදරයෙකු තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ හම්බන්තොට ප්‍රදේශයේදියි.

පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්තව සේවය කරන අනෙක් සහෝදරයා කටුකුරුන්ද විශේෂ කාර්ය බලකා පුහුණු මධ්‍යස්ථානයේදී ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.

සැකකරුවෙකු පොලිස් ස්ථානයකින් පැනයාමෙන් පසු රඳවා තබා ගැනීම, රැකවරණය ලබාදීම සහ රජයේ සේවකයින්ට අසත්‍ය ප්‍රකාශ ලබාදීම ඔවුන්ට එල්ලවී ඇති චෝදනා වනවා.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් පොලීසිය අධිකරණයට දැනුම්දුන්නේ විශේෂ කාර්ය බලකායේ සේවය කරන අදාළ තරුණයාගේ සහෝදරයාට පොලිස්පතිවරයා නිවාඩු පවා ලබාදී සහෝදරයා සොයා දෙන ලෙස දන්වා තිබූ බවයි.

කෙසේ වෙතත් පවුලේ සොහොයුරන් ගයේෂාන් බැලීමට ඔහු සැඟව සිටි නිවසට ගොස් ඇති බව සිදුකළ පරීක්ෂණවලදී අනාවරණ වී ඇතැයි පොලීසිය අධිකරණයට දැනුම් දුන්නා.

බන්ධනාගාර ගත කෙරුණු ගයේෂාන් තරුණයාගේ සහෝදරිය තම දරුවා සමඟ විත්ති කූඩුවට නැගීමට උත්සාහ කළත් මහේස්ත්‍රාත්වරයා දැනුම්දුන්නේ දරුවා පියාගේ අතට පත් කරන ලෙසයි.

නඩු විභාගයෙන් පසු මව සමඟ බන්ධනාගාර ගතවනවාද? එසේ නොමැති නම් පියා සමඟ සිටිනවාද යන්න මහේස්ත්‍රාත්වරයා දරුවාගෙන් විමසා තිබෙනවා.

මව සමඟ සිටීමට දරුවා කැමැත්ත පළ කිරීම නිසා  මව සමඟ දරුවා බන්ධනාගාර ගතකරන ලෙස මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර නිලධාරීන්ට දැනුම් දුන්නා.

ඊට අමතරව විද්‍යුත් මාධ්‍ය තුනක් විසින් සිද්ධියට අදාළව විකාශය වූ ප්‍රවෘත්ති සඳහා භාවිතා කරන ලද සංස්කරණය නොකළ දර්ශන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කළා.

අද දිනයේ බන්ධනාගාර ගතකෙරුණු සැකකරුවන්ගේ මව්පියන් ඇතුලූ තවත් ඥාතීන් පිරිසක්ද අධිකරණ භූමියට පැමිණ සිටියත් ඔවුන් මාධ්‍යයට අදහස් දැක්වීමෙන් වැළකී සිටියා. 





ඡායාරූප - සනත් ගමගේ හම්බන්තොට