රේගු වර්ජනය අවසන්

Friday, 23 September 2016 - 16:29

%E0%B6%BB%E0%B7%9A%E0%B6%9C%E0%B7%94+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A
දින 05 ක් තිස්සේ දියත් කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට රේගු වෘත්තීය සමිති අද පස්වරුවේ තීරණය කළා.

ඔවුන් පසුගිය සඳුඳා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළේ යෝජිත නව රේගු පනතට විරෝධය පළ කරමින්.

කෙසේ වෙතත්, දැනට පවතින රේගු ආඥා පනත පදනම් කරගෙන ඊට සංශෝධන එක් කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කිරීම නිසා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කළ බවයි රේගු දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපති ආචාර්ය එන්.එස්. කුමානායක කියා සිටියේ.

වර්ජනය පැවති කාලය තුළ ආනයනකරුවන්ගේ රේගු සටහන් කර 2000ක් පමණ රේගුවේ දිගු කාමරේ ගොඩ ගැසී තිබෙනවා.

මේ නිසා සති අන්තයේ ද සේවයේ නිරත වීමට රේගු නිලධාරීන් තීරණය කර ඇති බව ඔහු සදහන් කළා.  

මේ අතර, රේගු, සුරාබදු සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තු සේවකයින් එක්ව අද දහවල් ලේක්හවුස් වටරවුම ආසන්නයේ විරෝධතාවයකද නිරත වුණා.

මුදල් අමාත්‍යාංශය තුළ ආරම්භ කර ඇති සුරාබදු ඒකකයට විරෝධය පළ කරමින් සුරාබදු සේවකයින් විරෝධතාවයට එක්ව සිටි අතර, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සේවකයින් විරෝධතාවට සහභාගි වී සිටියේ එම දෙපාර්තමේන්තුවේ බදු එකතු කිරීමේ කටයුතු පෞද්ගලික සමාගමකට ලබාදීමට මුදල් අමාත්‍යාංශය ගෙන ඇති තීරණය ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින්.