ජනපති නියමයෙන් පසු මධ්‍යම පළාත් සභා දෙවන කණ්ඩායමේ රුසියානු ගමන නවතී

Tuesday, 27 September 2016 - 13:04

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%9A+%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%93
අධ්‍යයන චාරිකාවක් සඳහා රුසියාව බලා පිටත්ව යාමට සූදානමින් සිටි මධ්‍යම පළාත් සභාවේ දෙවන මන්ත්‍රී කණ්ඩායමේ සංචාරය පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක විසින් නවතා දමා තිබෙනවා.

ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පළාත් සභා මැති ඇමතිවරුන් අධ්‍යයන චාරිකා සඳහා විදේශගතවීමේදී රාජ්‍ය භාණ්ඩාගාරයේ අනුමැතිය ලබා ගත යුතු බවට උපදෙස් ලබාදීමෙන් අනතුරුවයි.

2017 වසරේ සිට මෙන්ම මේ වසරේ ඉදිරි කාලය සඳහා ද එය ක්‍රියාත්මක වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය අද නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.

මධ්‍යම පළාත් සභාවේ මැති ඇමතිවරුන්ගේ විදේශ සංචාරයක් සඳහා අති විශාල මුදලක් වැය කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුම්වත්ව නොසිටි බව එම නිවේදනයේ සදහන්ව තිබුණා.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක කියා සිටියේ පළාත් ප්‍රධාන ලේකම්වරයා සමග පැවැත්වෙන සාකච්ඡාවකින් අනතුරුව ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අප මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායකගෙන් විමසීමක් කළා.

එහිදී ඔහු කියා සිටියේ අදාළ සංචාරය සම්බන්ධයෙන් වාර්තාවක් සකසා ජනාධිපතිවරයා වෙත යොමු කරන ලෙස පළාත් ප්‍රධාන ලේකම්වරයා වෙත උපදෙස් දුන් බවයි.

එමෙන්ම අදාළ සංචාරය සදහා පසුගිය පළාත් අයවැයෙන් මුදල් වෙන් කර තිබූ බව ද ප්‍රධාන අමාත්‍යවරයා සදහන් කළා.