මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දේහය ගොඩ ගැනේ (ඡායාරූප)

Tuesday, 27 September 2016 - 13:27

%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%BD%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B6%82%E0%B6%9C%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%84%E0%B6%BA+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
බොරැල්ල කනත්තේ මිහිදන් කර තිබූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දේහය වසර 07කට පසු කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මොහොමඩ් මිහාල් හමුවේ අද පෙරවරුවේ ගොඩගනු ලැබුවා.

ඒ පසුගිය 08 වැනිදා ගල්කිස්ස ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඞ් සහබ්දීන් ලබාදුන් නියෝගයකට අනුවයි.

පෙරවරු 8.30ට පමණ ලසන්ත වික්‍රමතුංගගේ දේහය ගොඩ ගැනීමේ කටයුතු ආරම්භ කෙරුණු අතර දේහය තැන්පත් කර තිබූ ස්ථානයට දැඩි පොලිස් ආරක්ෂාවක් ද සපයා තිබුණා.

පසුව ඔහුගේ දේහයේ කොටස් යලි පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා රැගෙන ගිය බවයි එම ස්ථානයේ සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.

ලසන්ත වික්‍රමතුංගගේ පශ්චාත් මරණ පරීක්ෂණය අධිකරණ වෛද්‍යවරුන්ගෙන් සමන්විත වෛද්‍ය මණ්ඩලයක් විසින් සිදු කිරීමට නියමිතයි.

සිය නිවසේ සිට කාර්යාලය බලා යමින් සිටියදී අත්තිඩිය - කවුඩාන මාර්ගයේදී මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග වෙඩි ප්‍රහාරයකින් ඝාතනයට ලක්වූයේ 2009 වසරේ ජනවාරි මස 08 වැනිදායි.

මෙම ඝාතනයට අදාලව විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම මරණය පිළිබඳ පරීක්ෂණ වාර්තා සියල්ල ලැබී ඇති බවයි.

රජයේ රස පරීක්ෂකවරයා, අපරාධ පරීක්ෂණ නිලධාරීන් සහ කළුබෝවිල රෝහලේ අධිකරණ වෛද්‍යවරයා ඉදිරිපත් කළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ද ඊට ඇතුළත්.

ලසන්ත වික්‍රමතුංග වෙඩි වැදීමක් සිදුව ඇති බවට අධිකරණ වෛද්‍යවරයාගේ වාර්තාවේ හැර සෙසු වාර්තාවල සඳහන් නොවන බවයි රහස් පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේ.

මේ නිසා නීතිපතිවරයාගේ උපදෙස් අනුව දැනට මිහිදන් කර ඇති ලසන්ත වික්‍රමතුංගගේ දේහය ගොඩගෙන විශේෂිත අධිකරණ වෛද්‍යවරුන්ගෙන් සමන්විත වෛද්‍ය මණ්ඩලයක් හරහා නැවත පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට අධිකරණයේ අවසරය හිමි වුණා.