යෝෂිතගේ ඉඩමට නාමල් එයි

Wednesday, 28 September 2016 - 13:08

%E0%B6%BA%E0%B7%9D%E0%B7%82%E0%B7%92%E0%B6%AD%E0%B6%9C%E0%B7%9A+%E0%B6%89%E0%B6%A9%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B6%91%E0%B6%BA%E0%B7%92
ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයකට අනුව යෝෂිත රාජපක්ෂට අයත් බව කියන දෙහිවල - මිහිඳු මාවතේ පිහිටි රුපියල් මිලියන 50 ක් වටිනා ඉඩමේ මැනුම් කටයුතු මේ වනවිට සිදුවනවා.

ඒ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සහ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ නිලධාරින්ගේ අධීක්ෂණය යටතේයි.

මෙම ස්ථානයට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ද පැමිණ සිටින බවයි එහි සිටින හිරු වාර්තාකරු කියා සිටියේ.

යෝෂිත රාජපක්ෂට අයත් බව කියන මෙම ඉඩමෙහි මැනුම් කටයුතු පසුගිය 20 වනදා සිදුකිරීමට ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් සුලෝචනා වීරසිංහ නියෝග කළා.

ඒ යෝෂිත රාජපක්ෂ ඉඩමක් තම නමට ලියා ගැනීමේදී මූල්‍ය විශුද්ධකරණයක් වී ඇති බවට පවසමින් ඔහුට සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් ට එරෙහිව පොලිසිය ගොනුකර තිබූ පැමිණිල්ල පසුගිය 15 වනදා කැඳවූ අවස්ථාවේදීයි.

කෙසේ වෙතත්, මැනුම් කටයුතු සිදුකිරීමට නියමිතව තිබූ පසුගිය 20 වනදා යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් පැමිණ සිටියේ නැහැ.

පසුව මේ පිළිබඳව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය අධිකරණයට කරුණු වාර්තා කළ අතර එහිදී යෝෂිත රාජපක්ෂ දැනුම්දී තිබුණේ අදාළ දිනයේ තමන් වෙනත් අධිකරණයක පැවති නඩු විභාගය සඳහා පෙනී සිටි නිසා ඊට සහභාගි වීමට නොහැකි වූ බවයි.

ඒ අනුවයි මැනුම් කටයුතු අද දිනයේදී සිදුකරන ලෙස අධිකරණය නියෝග කළේ.