ඉන්දියාවෙන්, කාශ්මීරයට ප්‍රහාර

Thursday, 29 September 2016 - 14:19

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B7%8A%E0%B6%B8%E0%B7%93%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB
ඉන්දියාව විසින් පාකිස්ථානයේ කාශ්මීර් ප්‍රදේශයේ ත්‍රස්තවාදීන් ඉලක්ක කර ගනිමින් හදුනාගත් ස්ථාන කිහිපයකට ප්‍රහාර එල්ල කර තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ ඊයේ රාත්‍රියේ සිට ඉන්දීය හමුදා කාශ්මීර් දේශසීමාව ඔස්සේ ගොස් මෙලෙස ත්‍රස්තවාදීන්ට ප්‍රහාර එල්ල කරන බවයිි.

පාකිස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කැරළිකරුවන්ගේ ප්‍රහාර සැලසුම් මැඩපැවැත්වීම වෙනුවෙන් මෙම පහරදීම් සිදුකල බව ඉන්දියාව ප්‍රකාශකර තිබෙනවා.

කාෂ්මීරයේ පාකිස්තාන පාලනය යටතේ පවතින ප්‍රදේශයේ දේශසීමාවට ආසන්න කිලෝමීටර් 2 ක් පුරා ව්‍යාප්ත වූ ප්‍රදේශ 7 ක් ආවරණය වන පරිදි මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ සඳහා පැරෂුට් ආධාරයෙන් භූමිගත වූ ඉන්දීය කොමාන්ඩෝ භටයින් පිරිසක් අනුයුක්ත කෙරුණා.
 
ඉන්දීය හමුදා ප්‍රධානීන් ප්‍රකාශ කළේ නියමිත හමුදා ක්‍රියාපටිපාටිවලට අනුව අදාළ මෙහෙයුම සම්බන්ධයෙන් පාකිස්තානය දැනුවත් කර තිබූ බවයි.

කෙසේ නමුත් අදාළ ප්‍රහාරය දේශ සීමා නීති උල්ලංඝනය කරමින් සිදුකිරීම සම්බන්ධයෙන් පාකිස්තාන අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් ඉන්දියාවට චෝදනා කරනවා.

පකිස්තාන බලධාරීන් පවසන්නේ මෙම ප්‍රහාරය සිය රට උසිගැන්වීමක් සේ සලකන අතර මීට එරෙහිව දැඩි ප්‍රතිචාරයක් දක්වන බවයි.

මේ මස මුලදීද කාෂ්මීරයේ ඌරි ප්‍රදේශයේ ඉන්දීය හමුදා කදවුරකට කඩා වැදුණු පාකිස්තාන සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරයකින් ඉන්දීය සෙබලු 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කළ ඉන්දිය අග්‍රාමාත්‍ය නරේද්‍ර මෝදි ප්‍රකාශ කළේ අදාළ ප්‍රහාරය දඬුවම් ලැබිය යුතු වරදක් බවයි.

මෙම ප්‍රහාර තරයේ හෙලා දකින බව පාකිස්ථාන අග්‍රාමාත්‍ය නවාස් ෂෙරීෆ් පවසනවා.

ඔහු සඳහන් කර ඇත්තේ පකිස්ථානයේ ස්වෛරීත්වයට බලපෑමක් එල්ලවන ඕනෑම ප්‍රහාරයක් වැලැක්වීමට තම හමුදා ශක්තිමත් බවයි.

ප්‍රහාරවලින් පාකිස්ථාන ආරක්ෂක අංශයේ හමුදා සෙබලූන් දෙදෙනෙකු මියගොස් ඇති බවටයි විදෙස් වාර්තා සදහන් කළේ.