අතුරුදන්වූවන් ගැන මුලතිව් අධිකරණයට ඉදිරිපත් කළ ලේඛණ රහස් පොලිසියට

Friday, 30 September 2016 - 7:59

%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%96%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8A+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9B%E0%B6%AB+%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
යුද හමුදාව විසින් මුලතිව් අධිකරණයට ඉදිරිපත් කරන ලද ලිපි ලේඛණ සාවද්‍ය බවට ඉදිරිපත් වූ තොරතුරු මත ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස මුලතිව් දිසා විනිසුරු එම්.එස්.එම්.සහබ්දීන් රහස් පොලිසියට නියෝග කර තිබෙනවා.

දිසා විනිසුරුවරයා එලෙස නියෝග කරනු ලැබුවේ මුලතිව් අධිකරණයේ ගොනුකර තිබූ හබයාස් කෝපුස් නඩු 13 ක් එකවර විභාගයට ගත් අවස්ථාවේදීයි.

මෙම නඩු පවරා තිබුණේ අවසන් යුද සමයේදී ඥාතීන් විසින් යුද හමුදාවට භාරදුන් බව කියන එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් පිරිසක් ඇතුළු අතුරුදන් වූ දෙමළ වැසියන් පිරිසකගේ අයිතිවාසිකම් වෙනුවෙන්.

පැමිණිලි පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ආර්.ඒ.රත්නවේල් කියා සිටියේ එම පිරිස යුද හමුදාවට භාරදෙන අවස්ථාවේ කතෝලික පියතුමන්ලා දෙදෙනෙක්ද පැමිණිලිකරුවන් වෙනුවෙන් සාක්ෂි ලබාදුන් බවයි.

කෙසේ වෙතත්, මේ වනවිට එම පියතුමන්ලාද අතුරුදන් වී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් වව්නියාව අධිකරණයේ නඩුවක් ගොනුකර ඇති බවත් නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා.

යුද හමුදාවේ උසස් නිලධාරියෙකු අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය භාරයට ගත් පිරිසගේ නාමලේඛණයක් හමුදාව සතුව ඇති බව ප්‍රකාශ කළද, ඔහු අධිකරණයට ඉදිරිපත් කළේ රජය මගින් පුනරුත්ථාපනය කර නිදහස් කළ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ගේ නාමලේඛණයක් බව පැමිණිල්ලේ නීතිඥවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

කරුණු සලකා බැලූ මුලතිව් දිසා විනිසුරුවරයා එහිදී ඉදිරිපත් වූ ලේඛණ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස රහස් පොලිසියට නියෝග කර තිබෙනවා.