දරුවන් වෙනුවෙන් සමාජ මෙහෙයුමක් අවශ්‍යයි - ජනපති

Saturday, 01 October 2016 - 7:35

%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
පවුල, පාසල, සමාජය ඇතුළු සියලු ස්ථාන දරුවන් සඳහා සුදුසු තැන් බවට පත් කිරීමේ සමාජ මෙහෙයුමක් වෙත අප ගමන් කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කරනවා.

අදට යෙදෙන ළමා දින සැමරුම වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරන ජනාධිපතිවරයා කියා සිටින්නේ දරුවන්ට එරෙහිව නැගෙන ප්‍රචණ්ඩත්වයෙන් මිදුණු දේශයක් ලෙස අපට සතුටු විය නොහැකි බවයි.

දරුවන්ට නිසි පෝෂණ සහ සෞඛ්‍ය පහසුකම් සැලසීමට ද සුරක්ෂිත පරිසරයක් ඇති කිරීමට ද බැදී සිටින බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කරනවා.

අදට යෙදෙන වැඩිහිටි දිනය වෙනුවෙන් ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පණිවුඩයක් නිකුත් කළා.

එහි සදහන් වන්නේ වැඩිහිටි ප්‍රජාවගේ නිදහස සහ රැකවරණය සේම ආත්මාභිමානය ද ආරක්ෂා කළ යුතු බවයි.

ඔවුන් ජීවිතය තුළ කළ කැප කිරීම් ලඝු කළ නොහැකි බව ජනාධිපතිවරයා නිකුත් කළ පණිවුඩයේ වැඩිදුරටත් සදහන්.

අද සැමරෙන ළමා සහ වැඩිහිටි දින වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නිකුත් කළ පණිවුඩයේ දැක්වෙන්නේ අප සතු උත්තරීතර සම්පත දරුවන් වන බවයි.

රටක් ලෙස, සමාජයක් ලෙස අප යම් ජයග්‍රහණයක් ලබා ඇත්නම් ඒ සියල්ල වැඩිහිටියන්ගේ කැපවීමෙන් ලැබූ බව අග්‍රාමාත්‍යවරයා සදහන් කරනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද ළමා සහ වැඩිහිටි දින සැමරුම් වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කර ඇති අතර, එහි සදහන් වන්නේ මත්ද්‍රව්‍ය, අන්තර්ජාලය වැනි ක්ෂේත්‍රවලින් දරුවන්ට එල්ල වන තර්ජන පිළිබඳව අවධානය යොමු කළ යුතු බවයි.

එසේම වියපත් සාමාජිකයන් රැක බලා ගැනීමට උපකාර සපයන ආයතන පද්ධතියක් ඇති කරන ලෙස හිටපු ජනාධිපතිවරයා යෝජනා කරනවා.