වියලි කාලගුණයෙන් දෙලක්ෂයකට පීඩා

Monday, 03 October 2016 - 8:18

%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%93%E0%B6%A9%E0%B7%8F
දිවයිනේ පළාත් රැසකට බලපා ඇති වියළි කාලගුණය හේතුවෙන් පුද්ගලයින් දෙලක්ෂයකට වැඩි සංඛ්‍යාවක් පීඩාවට පත්වී සිටිනවා.

ත්‍රිකුණාමලය, මඩකලපුව, පොළොන්නරුව, කුරුණෑගල, වව්නියාව, කිලිනොච්චිය, රත්නපුර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල ජනතාව මෙලෙස පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ.

වැඩිම බලපෑම් එල්ලවී ඇත්තේ පොළොන්නරුව සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවලටයි.

පවතින වියළි කාලගුණයත් සමඟ කෘෂිකර්ම ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකට බලපෑම් එල්ල වී තිබෙනවා.

වී වගාවට අමතරව වගා කර ඇති අතිරේක බෝගවලට ද මේ වනවිට දැඩි බලපෑම් එල්ලවී ඇති බවයි වාර්තාවන්නේ.

මේ අතර වියලි කාලගුණයත් සමඟ පුත්තලම දිස්ත්‍රික්කයේ කිරි නිෂ්පාදනය සියයට 50කින් පමණ පහළ වැටී තිබෙනවා.

මෙරට සමස්ත කිරි නිෂ්පාදනයෙන් පුත්තලම දිස්ත්‍රික්කය වැඩි දායකත්වයක් ලබා දෙන අතර  වියලි කාලගුණයත් සමඟ ප්‍රදේශයේ තණබිම් රැසක් විනාශ වී ඇති බවටයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

මේ හේතුව නිසා කිරි ගොවීන් ගවයින්ට ආහාර සපයා දීමේදී දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී සිටිනවා.

පුත්තලම දිස්ත්‍රික්කයේ කුඩා වැව් සියල්ලම සිඳී ගොස් ඇති අතර ගවයින්ගේ පානීය ජල අවශ්‍යතා සපුරාගැනීමටද අසීරු වී තිබෙනවා.