SAITM සිරුරු කොටස් ගැන DNA පරීක්ෂණයක්

Wednesday, 05 October 2016 - 14:21

SAITM+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+DNA+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ තිබී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත්  මිනිස් සිරුරු කොටස් 26 සම්බන්ධයෙන් DNA පරීක්ෂණයක් සිදුකරන ලෙස අධිකරණය අද නියෝග කළා.

ඒ, ඊට අදාළ නඩුව අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් හමුවේ කැඳවූ අවස්ථාවේදියි.   

රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ පළමු පශ්චාත් මරණ පරීක්ෂණයේදී අතුරුදන් වූ සිරුරු කොටස් සම්බන්ධයෙන් එම වෛද්‍ය විද්‍යාලය පරීක්ෂා කරන ලෙස අධිකරණය ලබාදුන් නියෝගයෙන් පසුවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සිරුරු කොටස් පෙරේදා  සොයා ගත්තේ.

ඒ අනුව කළවා අස්ථි කොටස් 19 ක් සහ පපු අස්ථි කොටස් 7 ක් එහි තිබී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇති බව රජයේ නීතීඥ ඩිලාන් රත්නායක අද අධිකරණයට දැනුම් දුන්නා.

ඒ අනුව සොයාගත් අස්ථි කොටස් ඞී.එන්ඒ. පරීක්ෂාව සඳහා බොරැල්ලේ පිහිටි ජින්ටෙක් ආයතනය වෙත යොමු කිරීමටයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් අවසර ලබාදුන්නේ.

එසේම වසීම් තාජුඩීන්ගේ පළමු පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ කොළඹ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී මහාචාර්ය ආනන්ද සමරසේකර සම්බන්ධයෙන් වෛද්‍ය සභාවේ වාර්තාව මෙතෙක් ලැබී නොමැති බව රජයේ නීතීඥ ඩිලාන් රත්නායක අධිකරණය හමුවේ කියා සිටියා.

මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන සඳහා මෙම වාර්තාව වැදගත් බව ප්‍රකාශ කළ ඔහු වෛද්‍ය සභාවේ සිදුකරන පරීක්ෂණයේ උපක්‍රමශීලී ප්‍රමාදයක් ඇති බවයි සඳහන් කළේ.   

මේ අතර සාක්ෂි වසන්කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටින බස්නාහිර පළාත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරාද අද අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

එහිදී මහේස්ත්‍රාත්වරයා ඔවුන්ට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරමින් ලබන මස 19 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.    

මේ අතර ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාදෙන ලෙස ඉල්ලා මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් පිරිසක් ගොනු කළ පෙත්සම්වලට මැදිහත්කරුවන් වීමට පාර්ශව 13ක් කළ තිබූ ඉල්ලීම අභියාචනාධිකරණය අද ප්‍රතික්ෂේප කළා.

ඒ මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ සහ පී‍්‍රති පද්මන් සූරසේන හමුවේ කැදවූ අවස්ථාවේදීයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු පාර්ශව 13ක් මෙම නඩුවේ පාර්ශවකරුවන් වීමට ඉල්ලා තිබූ අතර ඒ පිළිබඳ අවසන් තීරණය අද ලබාදෙන බවයි මීට පෙර අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල දැනුම් දුන්නේ.

මෙම පෙත්සම නොවැම්බර් මස 08 සහ 10 යන දිනවල යලි විභාගයට ගැනීමට නියමිතයි.