වතු කම්කරු උද්ඝෝෂණයක් නිසා කොළඹ - රත්නපුර ප්‍රධාන මාර්ගයත් වැසේ (ඡායාරූප)

Wednesday, 05 October 2016 - 16:01

%E0%B7%80%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%8B%E0%B6%AF%E0%B7%8A%E0%B6%9D%E0%B7%9D%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+-+%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%B4%E0%B7%94%E0%B6%BB+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
තම දෛනික වැටුප රුපියල් දහසක් දක්වා වැඩිකරන ලෙස ඉල්ලා දිවයින පුරා වතුකම්කරුවන් අදත් විරෝධතාවල නිරතවුණා.

ප්‍රධාන මාර්ග අවහිරකරමින් පැවති විරෝධතා හේතුවෙන් මාර්ග රැසක රථවාහන ධාවනයට දැඩි බලපෑම් එල්ලවූ බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

ඒ අනුව ඇහැලියගොඩ - පරකඩුව ප්‍රදේශයේ පැවති වතු කම්කරු විරෝධතාවක් හේතුවෙන් කොළඹ -  රත්නපුර ප්‍රධාන මාර්ගයේ ධාවන කටයුතුවලටද බාධා එල්ලවුණා.

එමෙන්ම හැටන් නගරය ආසන්නයේ පැවති විරෝධතාවක් හේතුවෙන් හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනයද පැය කිහිපයක් ඇණ හිට තිබුණා.

බගවන්තලාව, කොටගල, නුවරඑළිය, රදල්ල සහ ගාල්ල - නාකියාදෙණිය යන ප්‍රදේශවලද අද වතු කම්කරුවන් විරෝධතාවල නිරතවූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

මේ හේතුවෙන් ගාල්ල - උඩුගම මාර්ගයේ ධාවන කටයුතුවලටද බාධා එල්ල වී තිබෙනවා.

එසේම මහනුවර - යාපනය ඒ 9 මාර්ගය මාතලේ - මඩවල ප්‍රදේශයෙන් අවහිර කරමින් නාලන්ද වතුයායේ කම්කරුවන් පිරිසක්ද අද විරෝධතාවයේ නිරතවුණා.

දෙණියාය - හේයර්ස් මංසන්ධියේදීද අද වතු කම්කරුවන් පිරිසක් විරෝධතාවයේ නිරතවූ බව හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තාවුණා.

මීට අමතරව ඌව පළාත් සභාව ඉදිරිපිටද අද වතු කම්කරුවන් පිරිසක් විරෝධතාවයේ නිරතවුණේ සිය දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩිකරන ලෙස බල කරමින්. බගවන්තලාව නගරයේ පැවති විරෝධතාවක් හේතුවෙන් වෙළඳසැල් රැසක්ද වසා දමා තිබුණා.   

මේ අතර වතු සේවකයන්ගේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් වතු වෘත්තිය සමිති සහ කම්කරු අමාත්‍ය ඩබ්ලිවි.ඩී.ජේ. සෙනෙවිරත්න සමඟ අද පැවති සාකච්ඡාවද එකඟතාවකින් තොරව අවසන් වී තිබෙනවා.



ඡායාරූප - අකුරැස්ස අජිත් ලංකාතිලක