මත්ද්‍රව්‍ය ජාලයට එරෙහිව ඉන්දු - ශ්‍රී ලංකා ඒකාබද්ධ කමිටුවක්

Thursday, 06 October 2016 - 7:43

%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%A2%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+-+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ඉන්දියාවේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ එරට ජනාධිපති ප්‍රනාබ් මුකර්ජී අතර ද්විපාර්ශවික හමුවක් ඊයේ පස්වරුවේ නවදිල්ලි නුවර රාෂ්ඨපති භවන් හි පැවැත්වුණා.

ඉන්දු - ශ්‍රී ලංකා සමීප සබඳතා තව තවත් තහවුරු කරමින් මෙරට සංචාරයක් සඳහා සහභාගිවන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ආරාධනා කර සිටින බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රනාබ් මුකර්ජීට දැනුම් දුන් බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.

ජනාධිපතිවරයාගේ ආරාධනය  සම්බන්ධයෙන් සතුටුවන බවයි එහිදී ඉන්දීය ජනාධිපති ප්‍රනාබ් මුකර්ජී ප්‍රකාශ කර ඇත්තේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ දිනයේදී ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය රාජ්නාත් සිං ද හමුවුණා.

නවදිල්ලි නුවර තාජ් පැලස් හෝටලයේදී පැවති මෙම සාකච්ඡාවේදී කලාපීය ත්‍රස්තවාදය, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය, මිනිස් ජාවාරම්, සාගර ආරක්ෂාව සහ සයිබර් සුරක්ෂිතතාව ආදී කරුණු සම්බන්ධයෙන් ඒකාබද්ධව කටයුතු කිරීමේ වැදගත්කම දෙරටේ නායකයින්ගේ අවධානය යොමුව තිබෙනවා.

මෙම වැඩපිළිවෙලේ ආරම්භයක් ලෙස මත්ද්‍රව්‍ය ජාලයට එරෙහිව ක්‍රියාත්මක කිරීමේ ඒකාබද්ධ කමිටුවක් පිහිටුවීමටද තීරණය කෙරුණා.

පොලිස් සහ බුද්ධි අංශ ප්‍රතිසංවිධානය කිරීම පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අදහස් හුවමාරු වූ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.

එමෙන්ම යාපනයේ සිට මන්නාරම දක්වාත්, මන්නාරම සිට කුරුණෑගල හරහා කොළඹ දක්වා සහ මන්නාරමේ සිට වවුනියාව හරහා ත්‍රිකුණාමලය දක්වා දිවෙන මංතීරු හතරක ප්‍රධාන මාර්ග පද්ධතියක් ඉදි කිරීමට සැළසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ඉන්දීය මාර්ග ප්‍රවාහන අධිවේගී මාර්ග සහ නාවික අමාත්‍ය නිතින් ගද්කාරී නවදිල්ලි නුවරදී ඊයේ හමුවූ අවස්ථාවේදියි.

 මේ අතර අග්‍රාමාත්‍යවරයා ඉන්දීය ඛනිජ තෙල් සහ ස්වභාවික ගෑස් පිළිබඳ අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රදාන්ද ඊයේ හමුවුණා.

එහිදී ගෘහස්ත ගෑස් පරිභෝජනය සම්බන්ධයෙන් වර්තමානයේදී ලෝකයම අනුගමනය කරන පිළිවෙත වන නළ ගෑස් සැපයුම් ක්‍රමවේදය පිළිබඳව අවධානය යොමුව තිබෙනවා.