Update : භානු පින්නවලට - ට්‍රක් රථය මඟ නවතී

Friday, 07 October 2016 - 12:03

Update+%3A+%E0%B6%B7%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B4%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+-+%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA+%E0%B6%B8%E0%B6%9F+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%93
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම මත වනජීවී දෙපාර්තමේන්තු භාරයට ගත් රුහුණු කතරගම මහා දේවාලයේ භානු නැමැති අලියා පින්නවල අලි අනාථාගාරයට අද පස්වරුවේ රැගෙන යාමට නියමිතයි.

අධිකරණ නියෝගයක් මත මෙම අලියා අද රැගෙන ගියේ කතරගම දේවාලයට පැමිණි වනජීවි දෙපාර්තමේන්තුවේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.

පසුගිය දා තිරසාර හා වනජීවි නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක බලපත්‍ර නොමැති අලි ඇතුන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ අතර, ඒ අනුව බලපත්‍ර නොමැති අලි ඇතුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගැනීමට අධිකරණය අවසර ලබා දුන්නා.

භානු නමැති අලියාගේ බලපත්‍රයෙහි හිමිකරුගේ නම ලෙස සදහන්ව ඇත්තේ මාතර - පාලටුව ප්‍රදේශයේ පදිංචි අයෙකුගේ නමයි.

වයස අවුරුදු 15 ක් වන භානු මීට වසර 10කට පෙර රුහුණු කතරගම මහා දේවාලයට ලැබුණු බවයි එහි ප්‍රකාශකයෙකු සදහන් කළේ.

මීට පෙර ද රුහුණු කතරගම මහා දේවාලයේ සමෝදි නැමැති අලියා අධිකරණ නියෝගයක් මත වනජීවි දෙපාර්තමේන්තු භාරයට ගනු ලැබුවා.

මේ අතර, භානු පින්නවල අලි අනාථාගාරයට රැගෙන යන ට්‍රක් රථය මාතර - මොණරාගල ප්‍රධාන මාර්ගයේ තණමල්විල ප්‍රදේශයේදී කාර්මික දෝෂයකට ලක්ව ඇති බව ද හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා. 



Update : Friday, October 7, 2016 7:04
--------------------------------------------------
රුහුණු කතරගම මහා දේවාලයට අයත් බානු නැමැති අලියා අධිකරණ නියෝගයක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය භාරයට ගෙන තිබෙනවා.

ඒ සඳහා අද (07) පෙරවරුවේ රුහුණු කතරගම මහා දේවාලයට වනජීවි දෙපාර්තමේන්තුවට අයත් වෛද්‍ය නිලධාරීන් කණ්ඩායමක් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් පැමිණ තිබුණා.

බලපත්‍රයේ ඇති දෝෂයක් හේතුවෙන් මෙලෙස බානු අලියා පොලිස් භාරයට ගත් අතර, පසුව අලියා වනජීවි දෙපාර්තමේන්තුව භාරයට පත් කිරීමට නියමිතයි.

වයස අවුරුදු 15 ක් වන බානු නැමැති අලියා රුහුණු කතරගම මහා දේවාලයට අයත් අලියෙක්.

මීට පෙරද රුහුණු කතරගම මහා දේවාලයේ සමෝදි නැමැති අලියා බලපත්‍රවල ඇති දෝෂයක් හේතුවෙන් අධිකරණ නියෝගයක් මත වනජීවි දෙපාර්තමේන්තු භාරයට ගනු ලැබුවා.

ආගමික සිද්ධස්ථානවල සිටින අලි ඇතුන් බලපත්‍රවල ඇති දෝෂ හේතුවෙන් වනජීවි භාරයට පත්වීම මෙරට සංස්කෘතියට බලපෑමක් එල්ල කරන බව හීලෑ අලිඇතුන් සුරැකීමේ සංවිධානය පවසන්නේ.

අප මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී වනජීවි අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.එස්.ඒ.පතිරත්න කියා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන පරීක්ෂණවලට අදාළව අධිකරණ නියෝගයක් මත බානු නැමැති අලියා පොලිස් භාරයට ගැනීමෙන් පසු වනජීවි නිලධාරීන් විසින් මෙම අලියා පින්නවල අලි අනාථාගාරය වෙත රැගෙන යාමට නියමිතව ඇති බවයි.