නියඟයෙන් පීඩාවට පත් සංඛ්‍යාව හය ලක්ෂ 7000 දක්වා ඉහළට

Monday, 10 October 2016 - 18:06

%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%9F%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%93%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B7%84%E0%B6%BA+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+7000+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
දිවයිනට බලපා ඇති වියළි කාලගුණයත් හේතුවෙන් පීඩාවට පත්වූ ප්‍රමාණය හය ලක්ෂ 7478ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පොළොන්නරුව, අනුරාධපුරය, අම්පාර ඇතුළු දිවයිනේ දිස්ත්‍රික්ක 19ක පීඩාවට පත් පවුල් සංඛ්‍යාව මේ වන විට එක්ලක්ෂ 61,337ක්.

මින් වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ පොළොන්නරුව දිස්ත්‍රික්කයටයි.

එම දිස්ත්‍රික්කයේ එක්ලක්ෂ 30,513 දෙනෙකු වියළි කාලගුණයෙන් පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළේ.

වියළි කාලගුණයත් සමඟ දිවයිනේ ප්‍රදේශ ගණනාවකම පානීය ජල අර්බුදයක් ද මතුව තිබෙනවා.

තමන්ට පානීය ජල පහසුකම් කඩිනමින් ලබාදෙන ලෙස ඉල්ලා සිදුකළ විරෝධතාවක් හේතුවෙන් තිස්ස - කතරගම මාර්ගයේ වාහන ගමනාගමනයට ද අද පස්වරුවේ බාධා එල්ල වුණා.

නියඟය ජනතාවට මෙන්ම වන  සතුන්ට ද දැඩි බලපෑමක් එල්ල කර තිබෙනවා.

යාල, විල්පත්තුව වැනි වනෝද්‍යානවල ජල මූලාශ්‍ර සිදී යාම හේතුවෙන් වන සතුන් ගම් බිම්වලට පැමිණීමේ අවදානමක් ද පවතින බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරුවන් කියා සිටියේ.

වන සතුන්ගේ ජල අවශ්‍යතා සඳහා විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ තනා ඇති තාවකාලික ජල පොකුණුවලට මේ දිනවල බවුසර් මගින් ජලය පිරවීමේ කටයුතු සිදුකරන බවයි එහි උද්‍යාන පාලක මනෝජ් විද්‍යාරත්න කියා සිටියේ.

කෙසේ වෙතත්, වියළි කාලගුණය හේතුවෙන් සිය කර්මාන්තයේ දියුණුවක් පෙන්නුම් කරන බව ලූණු නිෂ්පාදකයින් පවසනවා.

පුත්තලම කලපු තීරය ආශ්‍රිතව පවත්වාගෙන යන ලුණු ලේවාවල ලුණු නිෂ්පාදන කටයුතු සඳහා මේ දිනවල ප්‍රමාණවත් පරිදි සුළං සහ හිරු රශ්මිය ලැබීම මීට හේතුවයි.  

මේ අතර, වියළි කාලගුණය හේතුවෙන් හපුතලේ - බෙරගල රක්ෂිතයේ හට ගත් ගින්න අද නැවත සක්‍රිය වුණා.

මෙම ගින්න මැඬ පැවැත්වීම සඳහා යුද හමුදාවේ සහාය ද ලබා ගන්නා බවයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ.

ජනතාව කෙතරම් දැනුවත් කළ ද මේ දිනවල කැලෑ ගිනි තැබීම් ඉහළ ගොස් ඇති බව සදහන් කළ එහි සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල්. උදය කුමාර වැඩිදුරටත් කියා සිටියේ මිත්‍යා මතවාදයන්වල එල්ඹ ජනතාව කැළෑ ගිනි තැබීමට පෙළඹෙන බවයි.

කෙසේ වෙතත්, මෙම මිත්‍යා විශ්වාසයන් පිළිබඳව සහ දිවයිනේ පවතින දැඩි වියළි කාලගුණය සම්බන්ධයෙන් අප කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ද විමසීමක් කළා.

එහි අධ්‍යක්ෂ ජනරාල් ලලිත් චන්ද්‍රපාල සදහන් කළේ ඉදිරි සතිය තුළ වැසි අපේක්ෂා කළ හැකි වුවද තද වැසි බලාපොරොත්තු විය නොහැකි බවයි.

මේ අතර, රට පුරා පවතින දැඩි නියඟය සහ ජල පාරිභෝජනය ඉහළ යෑම නිසා ජල සැපයුම දිනකට පැය 18 කට සීමා කිරීමට පියවර ගෙන ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති කේ. අන්සාර් පවසනවා.

මෙතෙක් ජල සම්පාදන මණ්ඩලය දිනයේ පැය 24 පුරා ජල සැපයුම ලබාදුන්නා.

කෙසේ වෙතත් පවතින වියලි කාලගුණ තත්ත්වය හමුවේ ජලය සහ විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ආණ්ඩුව, ජනතාවගෙන් ඉල්ලීමක් කළා.