වතු කම්කරුවන්ගේ සාමුහික ගිවිසුම අත්සන් කිරීම වැට උඩ (ඡායාරූප)

Friday, 14 October 2016 - 12:09

%E0%B7%80%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%92%E0%B6%9A+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B7%80%E0%B7%90%E0%B6%A7+%E0%B6%8B%E0%B6%A9+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප සම්බන්ධයෙන් අද (14) අත්සන් කිරීමට නියමිතව ඇති සාමුහික ගිවිසුම පිළිබඳව මේ වනවිට මතුවී ඇත්තේ ගැටලුකාරී තත්ත්වයක්.

කෙසේ නමුත්, සාමුහික ගිවිසුම අත්සන් කිරීමට වතු වෘත්තීය සමිති හා වතු හාම්පුතුන් අතර විශේෂ සාකච්ඡාවක් කම්කරු අමාත්‍යාංශයේදී දැන් අාරම්භ වී තිබෙනවා.  

එම සාකච්ඡාවෙන් පසුව සාමුහික ගිවිසුම අත්සන් කරන්නේද නැද්ද යන්න පිළිබඳව අවසන් එකඟතාවයකට පැමිණීමට නියමිත බවයි කම්කරු අමාත්‍ය ඩබ්ලිව්.ඞී.ජේ.සෙනෙවිරත්න හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

දෙපාර්ශවය අතර දැනට එකඟත්වය ඇතිව තිබෙන්නේ රුපියල් 730 ක දෛනික වැටුප් වැඩිවීමක් සඳහායී.

කෙසේ වෙතත්, දැනට රුපියල් 620 ක්ව පවතින වතුකම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් දහස වැඩි කරන ලෙස ඉල්ලමින් මධ්‍යම කඳුකරය ඇතුළු ප්‍රදේශ ගණනාවක පසුගිය දිනවල විරෝධතා සහ උද්ඝෝෂණ පැවැත්වුණා.  

මේ අතර, අද දිනයේදීද හැටන් - නෝර්වුඞ් ප්‍රදේශයේ වතු කම්කරුවන් පිරිසක් සිය දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩිකරන ලෙස ඉල්ලමින් විරෝධතාවයක නිරත වුණා.

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීම පිළිබඳව අද අත්සන් කිරීමට නියමිත සාමුහික ගිවිසුමට අත්සන් නොකර සිටීමට තීරණය කර ඇති බවයි ලංකා කම්කරු කොංග්‍රසය ප්‍රකාශ කළේ.

එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ වතු හාම්පුතුන්ගේ සංගමය දිනකට රුපියල් 730 බැගින් දින 06 ක් ලබාදීමටත් සෙසු දිනයට අදාළව නෙලන තේ දළු කිලෝග්‍රෑමයකට රුපියල් 35 බැගින් ලබාදීමටත් ගිවිසුමෙන් යෝජනා කර ඇති බවයි.

එහෙත් අද දිනයේ අත්සන් කිරීමට නියමිත ගිවිසුමෙහි වතු හාම්පුතුන්ගේ සංගමය සෙසු දිනයට නෙලන තේ දළු කිලෝග්‍රෑමයකට රුපියල් විස්සක මුදලක් ලබාදෙන බවට පසුව යෝජනා කර තිබෙනවා.

මේ හේතුව නිසා තමන් අද සාමුහික ගිවිසුමට අත්සන් නොකර සිටීමට තීරණය කර ඇති බවයි එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ පිළිබඳව දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් ද කම්කරු කොංග්‍රසයේ මූලස්ථානයේදී අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

ලංකා කම්කරු කොංග්‍රසය, ලංකා ජාතික කම්කරු සංගමය, ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනය හා වතු හාම්පුතුන් අතර අද පස්වරුවේ මෙම සාමුහික ගිවිසුම අත්සන් කිරීමට නියමිතව තිබෙනවා.

ලංකා ජාතික කම්කරු සංගමය ද අද පස්වරුවේ අත්සන් කිරීමට නියමිත ගිවිසුම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ආරම්භ කළා



ඡායාරූප - හැටන් රංජිත් රාජපක්ෂ