ලසන්තගේ මරණය ගැන කියා දිවි නසා ගත්, හිටපු බුද්ධි අංශ නිලධාරියා ගැන පොලිසියට ප්‍රශ්න රැසක්

Saturday, 15 October 2016 - 18:08

%E0%B6%BD%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B6%B1%E0%B7%83%E0%B7%8F+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A%2C+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92+%E0%B6%85%E0%B6%82%E0%B7%81+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B7%8A
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළේ තමන් බව පවසමින් ලිපියක් ලියා තබා විශ්‍රාමික හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු සියදිවි හානි ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද අද (15) විමර්ශන ආරම්භ කළා.

පොලිස්පති පූජිත් ජයසුන්දර කියා සිටියේ කෑගල්ල පොලිසිය සිදුකරන පරීක්ෂණවලට අමතරව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම විමර්ශන කටයුතු සිදුකරනා බවයි.

වව්නියාව ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගෙන් කළ විමසීමකදී ඔහු මේ බව කියා සිටියා.

පොලිස්පතිවරයා සඳහන් කළේ අංශ රැසක් පිළිබඳව සොයා බලමින් මීට අදාළ පරීක්ෂණ සිදුකළ යුතු බවයි.

කෑගල්ල - කරඩුපන ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හැවිරිදි අදාළ විශ්‍රාමික බුද්ධි අංශ නිලධාරියා තමන් පදිංචිව සිටි නිවසේ කාමරයක් තුළ ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන සිටියදී ඊයේ (14) අලුයම සොයා ගත්තා.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න පැවසුවේ ඔහු 1985 වසරේදී ශ්‍රී ලංකා යුද හමුදාවේ ගැමුණු හේවා රෙජිමේන්තුවේ සාමාන්‍ය සෙබලෙකු ලෙස සේවයට එක්ව ඇති බවයි.

අනතුරුව යුද හමුදා බුද්ධි අංශයට එක්වූ ඔහු ගිරිතලේ යුද හමුදා කදවුරට අනුයුක්තව සේවය කර තිබෙනවා.

2007 වසරේ විශ්‍රාම යනවිට ඔහු යුද හමුදා බුද්ධි අංශයේ සාජන් මේජර්වරයෙකු ලෙස සේවය කර ඇති බව ද යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා.

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ප්‍රේම් ආනන්ද උදලාගම නමැති බුද්ධි අංශ නිලධාරියා මේ වනවිටත් රක්ෂිත බන්ධනාගාර ගතවයි සිටින්නේ.

සියදිවි හානි කරගත් විශ්‍රාමික බුද්ධි අංශ නිලධාරියා ලියා ඇති ලිපියේ සදහන් වන්නේ තමන් එම ඝාතනය සිදුකළ බැවින් තම මිතුරා වන උදලාගම නිදහස් කරන ලෙසයි.

මේ අතර, සියදිවි හානි කර ගත් හිටපු බුද්ධි අංශ නිලධාරියාගේ දේහය මේ වනවිට කෑගල්ල - කරඩුපන ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර ඇති අතර හිරු ප්‍රාදේශීය වාර්තාකරු කියා සිටියේ දේහය පිළිබද අවසන් කටයුතු හෙට (16) සිදුකිරීමට නියමිත බවයි.