අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්වරිය තනතුරෙන් ඉවත්වෙයි

Monday, 17 October 2016 - 12:45

%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B7%82+%E0%B6%A2%E0%B6%B1%E0%B6%BB%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ සිය තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඊට අදාළ ලිපිය තමන් ජනාධිපතිවරයා වෙත යොමුකළ බවයි ඇය සදහන් කළේ. පසුගිය වසරේ පෙබරවාරි මස 11 වන දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස පත් කරනු ලැබුවා.

කෙසේ වෙතත්, ඉල්ලා අස්වීමට හේතුව විමසීම සඳහා ඇය සම්බන්ධ කර ගැනීමට හිරු ප්‍රවෘත්ති අංශය කිහිප විටක්ම දැරූ උත්සාහයන් ව්‍යර්ථ වුණා.   

මේ අතර, ස්වාධීන කොමිෂන් සභාවල ක්‍රියාකාරීත්වය පිළිබඳ රජයේ ඉහළ අංශවලින් යම් අපැහැදිලි තත්ත්වයක් වාර්තා කර තිබේ ද යන්න පිළිබඳව එම සභාවල සභාපතිවරුන් ව්‍යවස්ථාදායක සභාවේ සභාපතිවරයා වන කථානායක කරු ජයසූරියගෙන් විමසා තිබෙනවා.

ඒ අනුව අදාළ අංශ සමඟ අදහස් හුවමාරු කර ගැනීමෙන් පසු කථානායකවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ ස්වාධීන කොමිෂන් සභාවල ක්‍රියාකාරීත්වය හෝ ස්වාධීනත්වය පිළිබදව ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයා විසින් අපැහැදීමක් හෝ එකිනෙකට වෙනස් කරුණු දැක්වීමක් සිදුනොකර ඇති බවයි.
 
ඒ අනුව ඉදිරියේදී ද ස්වාධීන කොමිෂන් සභාවල ස්වාධීනත්වයට හානි වන අන්දමින් කිසිදු බලපෑමකට ඉඩ නොදිය යුතුය යන ස්ථාවරයේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සිටින බව ද එම නිවේදනයේ දක්වා තිබෙනවා.

ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා බිහි කළ කොමිෂන් සභා මගින් ඉටු කරනු ලබන ජාතික මෙහෙවර විශ්වාසයෙන් යුතුව ඉටු කළ යුතු බවත්, එම ගෞරවනීය මෙහෙවර සෑම විටකම අගය කිරීමට නොපැකිලෙන බවත් කථානායක කරු ජයසූරිය සදහන් කළා.