අගමැති යුරෝපා කොමිසමේ උප සභාපතිනිය හමුවෙයි

Tuesday, 18 October 2016 - 18:09

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%9D%E0%B6%B4%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B7%9A+%E0%B6%8B%E0%B6%B4+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
යහපාලනය, සංහිඳියාව සහ සමාජ සාධාරණත්වය පදනම් කරගනිමින් ඉදිරියට යෑමේ නව සංවර්ධන සැළසුමක් වෙනුවෙන් ශ්‍රී ලංකාවට සහය දැක්වීමට සූදානම් බව යුරෝපා කොමිසමේ උප සභාපතිනි ෆෙඩෙරිකා මොගෙරිනි ප්‍රකාශ කළා.

යුරෝපීය විදේශ ක්‍රියාන්විත සේවාවේ ප්‍රමුඛ නියෝජිතවරියද වන ඇය මේ බව සඳහන් කළේ බ්‍රසල්ස් නුවරදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවෙමින්.

ජී.එස්.පී. ප්ලස් සහනය නැවත ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ අයදුම්පත සතුටින් පිළිගත් බවද ඇය කියා සිටියා.

මේ අතර දේශපාලන හා සමාජ ප්‍රතිසංස්කරණ යටතේ ලබා ඇති ප්‍රගතිය අනුව ශ්‍රී ලංකාව ජී.එස්.පී ප්ලස් සහනය ලබාගැනීම ආසන්නයට ම පැමිණ ඇති බව යුරෝපා  කවුන්සිලයේ සභාපති ඩොනල්ඩ් ටස්ක් මහතා පවසනවා.

බෙල්ජියමේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස හමුවූ අවස්ථාවේදී ටස්ක් මහතා මේ බව සදහන් කළා.

බ්‍රසල්ස් නුවර යුරෝපා කවුන්සිල මුලස්ථානයේදී අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස යුරෝපා කවුන්සිලයේ සභාපති ඩොනල්ඩ් ටස්ක් මහතා සමග ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වුණා.

මෙරට අග්‍රාමාත්‍යවරයෙකු යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයෙකු සමග පැවැත්වූ මුල්ම සාකච්ඡාව මෙය වීම ද විශේෂත්වයක්.

එහිදී යුරෝපා කවුන්සිල සභාපතිවරයා පැවසුවේ සම්මුතිවාදී පාලන ක්‍රමයක් ඔස්සේ ශ්‍රී ලංකාව මුළු මහත් කලාපයට ම ආදර්ශයක් ලබාදී ඇති බවයි.

ශ්‍රී ලාංකීය ජනතාවට සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත දක්වන විශේෂ සැලකිල්ලක් වශයෙන් ජීගඑස්ගපීග ප්ලස් සහනය යළි ලබාදීමට තම
පුර්ණ සහය ලබාදෙන බවද ඩොනල්ඩ් ටස්ක් මහතා මෙහිදී සහතික වී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ අනාගත අභියෝග ජය ගැනීමට යුරෝපීය ප්‍රජාව ලබාදෙන සහය පිළිබඳ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සභාපතිවරයාට සිය
ස්තුතිය පළ කළා.

ශ්‍රි ලංකාවේ සිදුවන නව සංවර්ධන හා ප්‍රජාතන්ත්‍රීකරණ ක්‍රියාවලි දැක බලා ගැනීමට මෙරට සංචාරයක නිරත වන ලෙසද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන
මහතා වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා ඩොනල්ඩ් ටස්ක් මහතාට ආරාධනා කර තිබෙනවා.

ඊට ප්‍රතිචාර දක්වමින් ඩොනල්ඩ් ටස්ක් මහතා පැවසුවේ ලබන වසරේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට අපේක්ෂා කරන බවයි.

නීති විරෝධී ලෙස ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් යුරෝපයට පැමිණීම වැළැක්වීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසද ඔහු වැඩිදුරටත්
අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එහිදී අග්‍රාමාත්‍යවරයා පැවසුවේ ඒ පිළිබඳ යුරෝපා කොමිසම ද සම්බන්ධ කර ගනිමින් කාර්යසාධක බලකායක් පිහිටුවීමට කටයුතු කරන බවයි.

මේ අතර, ඊයේ පස්වරුවේ අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස බ්‍රසල්ස්හි සුප්‍රකට ලොව්රාන් ජබාඩ් චොක්ලට් නිෂ්පාදනාගාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත  වුණා.

එහිදී මෙරට කුළු බඩු භාවිත කරමින් රස ගැන්වූ චොක්ලට් නිෂ්පාදනය සම්බන්ධයෙන් නිෂ්පාදනාගාරයේ අධිපති ලොව්රාන් ජබාඩ් මහතා කරුණු  
පැහැදිලි කළා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද ලොව්රාන් මහතා සමග චොක්ලට් සෑදීමට එක්වුණා.

මෙරට කොකෝවා වගාව සංවර්ධනය කර පුළුල් කිරීමෙන් චොක්ලට් නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීමේ හැකියාව සම්බන්ධව ද අග්‍රාමාත්‍යවරයා සහ ලොව්රාන් ජබාඩ් මහතා අතර අදහස් හුවමාරු කර ගැනුණා.