විදුලි කප්පාදුව අවසන් වන දිනය මෙන්න ?

Wednesday, 19 October 2016 - 7:17

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%3F
හෙට සිට දැනට සිදුවන විදුලි කප්පාදුව නතර කිරීමට හැකි වනු ඇති බව විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ සංවර්ධන අධ්‍යක්‍ෂ සහ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන පවසනවා.

ඔහු කියා සිටියේ අක්‍රිය වූ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය හෙට සිට යථා තත්ත්වයට පත් කළ හැකි බවයි.

මෙම ජනන යන්ත්‍රය යළි පණ ගැන්වීම තුළින් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 300ක ධාරිතාවක් එක් කෙරෙනවා.

අධි බලැති විදුලි රැහැන් පද්ධතියේ ඇති වූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරය පසුගිය සෙනසුරාදා සිට සම්පූර්ණයෙන් අක්‍රිය වුණා.

ජනන යන්ත්‍ර 3කින් සමන්විත නොරොච්චෝලේ බලාගාරයෙන් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරෙන ධාරිතාව මෙගාවොට් 900ක්.

ජනන යන්ත්‍ර අක්‍රිය වීමත් සමඟ කොළඹ නගර සීමාව, රෝහල් සහ කර්මාන්තපුර හැර සෙසු ප්‍රදේශවලට පැය එක හමාරක කාලයක් විදුලිය අත්හිටුවීමටයි අමාත්‍යාංශය තීරණය කළේ.

කෙසේ වෙතත්, අක්‍රිය වූ නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය එළඹෙන ඉරිදා පණ ගැන්විය හැකි බව ද විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ සංවර්ධන අධ්‍යක්‍ෂ සහ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන කියා සිටියා.