තිස්ස අත්තනායක රක්ෂිත බන්ධනාගාරයට

Wednesday, 19 October 2016 - 12:38

%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7
එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක දෙසැම්බර් මස 5 වනදා දක්වා අද රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ කූඨ ලේඛන සැකසීමේ ඇතුළු චෝදනා 03ක් යටතේ නීතිපතිවරයා ඔහුට එරෙහිව ගොනු කළ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන හමුවේ කැදවූ අවස්ථාවේදීයි.

එහිදී තිස්ස අත්තනායක අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත නවරත්න අධිකරණයෙන් ඉල්ලීමක් කළා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේ ඔහුට විරුද්ධව ජනාධිපතිවරණ පණත යටතේ චෝදනා ගොනු කර ඇති බවයි.

ඒ අනුව ඇප ලබාදීමට නම් සුවිශේෂි කරුණු ඉදිරිපත් කරන ලෙස විත්ති පාර්ශවයට නියම කළ මහාධිකරණ විනිසුරුවරිය මෙම නඩුව සුළු වේලාවකට කල් තැබුවා. අනතුරුව නඩුව යළි කැදවූ අවස්ථාවේදී විනිසුරුවරිය සැකකාර තිස්ස අත්තනායකට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරමින් රක්ෂිත බන්ධනාගාර ගත කළා.

2014 වසරේ දෙසැම්බර් මස දිනකදී කොළඹ ප්‍රවෘත්ති සාකච්ජාවක් පවත්වමින් ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර පසුගිය ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ එවකට විපක්ෂ නායක වූ රනිල් වික්‍රමසිංහ අතර රහස් ගිවිසුමක් ඇති බවට ප්‍රකාශ කළේ යැයි ඔහුට විරුද්ධව චෝදනා එල්ල වුණා.

එමඟින් ජනාධිපති මැතිවරණ පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් සිදුකළේ යැයි පවසමිනුයි නීතිපතිවරයා පසුගිය 09 වැනිදා මහාධිකරණය හමුවේ සැකකරුට එරෙහිව නඩු පවරනු ලැබුවේ.

මෙම සිද්ධිය තුලින් ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රතිඵලයට බලපෑමක් ඇති කිරීම, ජනවර්ග අතර අසමගිය ඇති කිරීම සහ කූට ලේඛන සකස් කිරීම තිස්ස අත්තනායක හිටපු මන්ත්‍රීවරයාට එල්ල වී ඇති චෝදනායි.

මෙම ක්‍රියා කලාපය මගින් ජාත්‍යන්තර සිවිල් හා දේශපාලන අයිතිය පිළිබඳ සම්මුතියද උල්ලංඝනය වී ඇති බව නීතිපතිවරයා මහාධිකරණය හමුවේ පෙන්වා දී තිබුණා.  

පසුගිය වසරේ පෙබරවාරි මස 2 වනදා ද කූට ලේඛන සකස් කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක කොළඹ - කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර පසුව ඇප මත මුදාහරුණා.

අද දිනයේ යළි රක්ෂිත බන්ධනාගාර ගතවීමට නියෝග ලැබීමෙන් පසු බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ අධිකරණයෙන් පිටතට පැමිණෙද්දී ඔහු මාධ්‍ය වෙත ප්‍රකාශයක්ද සිදුකළා. ඒ, එකම වරදට දෙසැරයයි, මෙයයි සාධාරණේ යනුවෙන්.