කල්පිටියේ ධීවර ගැටුමෙන් 7ක් රෝහලේ - බෝට්ටු 8ක්, යතුරුපැදි 3ක් සහ ලොරියක් ගිනිබත්

Friday, 21 October 2016 - 18:07

%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+7%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+-+%E0%B6%B6%E0%B7%9D%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94+8%E0%B6%9A%E0%B7%8A%2C+%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92+3%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%BD%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%B6%E0%B6%AD%E0%B7%8A
කල්පිටිය - කුරිඤ්ඤන්පිටිය ප්‍රදේශයේදී ධීවරයින් දෙපිරිසක් අතර අද දහවල් ඇතිවු ගැටුම මේ වනවිට පාලනය කර එම ප්‍රදේශයට පොලිස් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව යොදවා තිබෙනවා.

ගැටුම අතරතුර ධීවර බෝට්ටු 08 කට, කුඩා ලොරි රථයකට සහ යතුරුපැදි 03 කට ගිනි තබා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එමෙන්ම, තුවාල ලැබූ පුද්ගලයින් 07 දෙනෙකු කල්පිටිය දිසා රෝහලට ඇතුළත් කර ඇති බවද එහි ප්‍රකාශකයෙකු කියා සිටියා.

ධීවරයින් පිරිසක් ඊයේ දිනයේදී කල්පිටිය - පුත්තලම ප්‍රධාන මාර්ගයට පැමිණ විරෝධතාවයක නිරත වූ අතර, එහිදී ඔවුන් චෝදනා කළේ කල්පිටිය - උච්චමුණේ ප්‍රදේශයේදී තහනම් දැල් භාවිත කරන ධීවරයින් පිරිසක් තහනම් දැල් භාවිත නොකරන ධීවරයින් පිරිසක් පලවා හැර ඇති බවටයි.

අද ඔවුන් දෙවන දිනටත් ප්‍රධාන මාර්ගය කන්දකුලිය - කුරිඤ්ඤන්පිටිය ප්‍රදේශයෙන් අවහිර කරමින් විරෝධතාවයේ නිරත වුණා.

ඒ, කල්පිටිය ප්‍රදේශයේ ලයිලා සහ සුරුක්කු දැල් භාවිත කරමින් සිදුකරන මසුන් ඇල්ලීමේ කටයුතු තහනම් කරන ලෙස ඉල්ලමින්.

කෙසේ වෙතත්, අද පෙරවරු 10.30 ට පමණ තහනම් දැල් භාවිත කරමින් ධීවර කර්මාන්තයේ යෙදෙන බවට චෝදනා එල්ල වන ධීවරයින් පිරිසක් තහනම් දැල්වලට එරෙහිව විරෝධතාවයේ නිරත වූ පිරිසට සිය විරෝධය පළ කළා.

එහිදී දෙපිරිස අතර ගැටුමක් හටගැනීමත් සමඟ ඇතිවූයේ උණුසුම්කාරී තත්ත්වයක්.

එම ගැටුම සමථයකට පත්කිරීමට එහි රැඳී සිටි පොලිස් නිලධාරීන් උත්සාහ කළද ප්‍රමාණවත් තරම් නිලධාරීන් සංඛ්‍යාවක් නොසිටීම හේතුවෙන් එම ගැටුම පාලනය කිරීමට පොලිසියට පහසු වූයේ නැහැ.

පසුව පොලිසිය සහ ප්‍රදේශයේ ආගමික නායකයින්ගේ මැදිහත්වීම මත ධීවරයින් දෙපිරිස අතර ඇතිවු ගැටුම සමථයකට පත් කෙරුණා.

මේ අතර, මාර්ගය අවහිර කරමින් සිදුකළ ධීවර විරෝධතාවය අත්හිටුවන ලෙස පුත්තලම මහේස්ත්‍රාත්වරයා ද අද නියෝගයක් නිකුත් කළා.

ඒ, කල්පිටිය පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

මේ අතර, ධීවර අමාත්‍යවරයා සමඟ විශේෂ සාකච්ඡාවකට කල්පිටියේ ගැටුමට සම්බන්ධ පාර්ශවයන් දෙකම අද පස්වරුවේ මීගමුවට කැඳවා තිබුණා.

කෙසේ වෙතත්, මීගමුව - පිටිපන ජනසඳර ප්‍රජා ශාලාවේ පැවති මෙම සාකච්ඡාවට එක්ව තිබුණේ ලයිලා සහ සුරුක්කු දැල් භාවිත කිරීමට විරෝධය පළ කරන ධීවරයින්ගේ නියෝජිතයින් පමණක් බවයි එහි සිටි හිරු වාර්තාකරු සඳහන් කළේ.