Update- එජාපය, හිටපු මහ බැංකු අධිපති රැකගැනීමේ උත්සාහයක-හඳුන්නෙත්ති

Tuesday, 25 October 2016 - 8:18

Update-+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%2C+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%8F%E0%B7%84%E0%B6%BA%E0%B6%9A-%E0%B7%84%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92
මහ බැංකුවේ බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කෝප් කමිටුව සකස් කළ වාර්තාව මෙම සතිය තුළදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසනවා.  

කෝප් කමිටුව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරුන් ඊයේ ඉදිරිපත් කළ නිර්දේශ, මහබැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ආරක්ෂා කිරීමේ උත්සාහයක් බවයි ඔහු කියා සිටියේ.

මතබේදකාරී බැඳුම්කර සිද්ධියට අදාළ තැරැව්කාර සමාගමේ ප්‍රධානියා වන අර්ජුන් ඇලෝෂියස් ඇතුලු අධ්‍යක්‍ෂ මණ්ඩලය අත්අඩංගුවට ගෙන අපරාධ නීතිය යටතේ කටයුතු කළ යුතු බවටයි ඔවුන් ඊයේ නිර්දේශ කළේ.

ඒ, කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති ඊයේ පැවති කෝප් කමිටු රැස්වීමෙන් නැගිට යාමෙන් අනතුරුවයි.

බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට වාර්තා දෙකක් ඉදිරිපත් වනු ඇති බවටද අදහස් පළවී තිබෙනවා.

කෙසේ වෙතත් එම මන්ත්‍රිවරුන් සකස් කළ වාර්තාව සහ කෝප් කමිටුව මගින් සකස් කළ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව සත්‍යය හෙළිදරව් වනු ඇති බවයි හිරු ප්‍රවෘත්ති අංශයට පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර කෝප් කමිටු සාමාජික රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා සඳහන් කළේ ලබන බ්‍රහස්පතින්දා  සුනිල් හඳුන්නෙත්තිගේ සභාපතිත්වයෙන් යුතුව කෝප් කමිටුව රැස්වීමට අපේක්ෂා කරන අතර එහිදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවසන් වාර්තාව සකස් කිරීමට කටයුතු කරන බවයි.  

වාර්තා දෙකක් ඉදිරිපත් වනු ඇතැයි පළවන වාර්තා පිළිබඳව අප කළ විමසීමකදී ඔහු එය ප්‍රතික්ෂේප කළා.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුව පිළිගනු ලබන්නේ කෝප් කමිටුවේ සභාපතිවරයා විසින් ඉදිරිපත් කරන වාර්තාව පමණක් බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන ප්‍රකාශ කළා.

නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මතයද එය බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

Update- Tuesday, October 25, 2016  01.40
------------------------------------------------------------

කෝප් කමිටුවේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් රැකගැනීමේ උත්සහයක නිරතවන බව කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ අර්ජුන් ඇලෝසියස් ඇතුලු පිරිසට එරෙහිව අපරාධ නීතිය යටතේ කටයුතු කිරීමේ නිර්දේශය මගින් එය තහවුරු වන බවයි.