යුරෝපා නියෝජිතයින් අගමැති හමුවේ

Tuesday, 01 November 2016 - 13:42

%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%9D%E0%B6%B4%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A
ඊයේ දිවයිනට පැමිණි යුරෝපා පාර්ලිමේන්තුවේ නියෝජිත කණ්ඩායම අද දිනයේදී මෙරට දේශපාලන නායකයන් කිහිප දෙනෙකු මුණ ගැසෙනවා.

කොළඹ යුරෝපා සංගම් කාර්යාලයේ ප්‍රකාශිකාවක සඳහන් කළේ ඔවුන් කථානායක කරු ජයසූරිය, විපක්ෂ නායක ආර්. සම්බන්ධන් සහ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර සමඟ අද සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි

යුරෝපා සංගම් නියෝජිත කණ්ඩායම ඊයේ පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

එහිදී ශ්‍රී ලංකාවට නැවතත් ජී.එස්.පී ප්ලස් තීරුබදු සහනය ලබා ගැනීම පිළිබඳව අදහස් හුවමාරු වූ බවයි අග්‍රාමාත්‍ය කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළේ.

ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් තීරු බදු සහනය නැවත ලබාදීම පිළිබද ඇගයීමක් සිදුකිරීමට පැමිණි යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායම නොවැම්ර් 3 වන දා දක්වා මෙරට රැදී සිටිනු ඇති.

යුරෝපා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සිව් දෙනෙකුගෙන් සමන්විත එම නියෝජිත පිරිස ජාතික සංහිඳියා ක්‍රියාවලිය ලබා ඇති ප්‍රගතිය මෙන්ම, දේශපාලන හා ආර්ථික වශයෙන් මෙරට කාන්තාවන් සවිබල ගැන්වීම පිළිබඳ විශේෂ අවධානයක් යොමුකරනවා.

මෙම නියෝජිත කණ්ඩායමේ නායකත්වය යුරෝපා සංගමයේ දකුණු ආසියාතික කටයුතු පිළිබඳ කමිටු සභාපතිනි, එක්සත් රාජධානියේ ජීන් ලැම්බර්ට් ට හිමිවී ඇති අතර තවත් යුරෝපා පාර්ලිමේන්තු නියෝජිතයන් 3 දෙනෙකු ඊට ඇතුළත්.

ඔවුන් ශ්‍රී ලංකා සංචාරයේදී කොළඹ, ත්‍රිකුණාමලය සහ මඩකලපුව ප්‍රදේශවල සංචාරය කරන අතර, යුරෝපා සංගමයේ අනුග්‍රහයෙන් මෙරට ක්‍රියාත්මක ව්‍යාපෘති ද අධීක්ෂණයට ලක් කරනු ඇති.