දීමනාවක් දෙන්න රජය සැරසුණත්, අධිකරණ නියෝග මැද ආබාධිත රණවිරුවන් තවමත් මහ පාරේ

Tuesday, 01 November 2016 - 17:12

%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%94%E0%B6%AB%E0%B6%AD%E0%B7%8A%2C++%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF+%E0%B6%86%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%AD+%E0%B6%BB%E0%B6%AB%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%9A
සේවා විශ්‍රාම වැටුප ලබාදෙන ලෙස ඉල්ලමින්, සේවා කාලය වසර 12 කට අඩු විශ්‍රාමික ආබාධිත රණවිරුවන් පිරිසක් ආරම්භ කළ විරෝධතාව තවමත් ක්‍රියාත්මකයි.

ඔවුන් මේ වනවිට කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැඳී සිටිනවා.

කෙසේ වෙතත් විශ්‍රාම වැටුප් සඳහා හිමිකම් නොකියන ආබාධිත රණවිරුවන්ට ලබන පෙබරවාරි මාසයේ සිට දීමනාවක් ලබා දෙන බව ආරක්ෂක අමාත්‍යාංශය අද ප්‍රකාශ කළා.

කැබිනට් අනුමැතිය යටතේ එම දීමනාව ලබාදෙන බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

එහෙත් විරෝධතාවයේ නිරතවන ආබාධිත රණවිරුවන් එම යෝජනාව ප්‍රතික්ෂේප කර තිබෙනවා.

අදාළ ඉල්ලීම මුල් කරගනිමින් රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය කොටුව දුම්රියපල ඉදිරිපිට විරෝධය ආරම්භ කළේ ඊයේ දිනයේදියි.

පසුව ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පා ගමනින් ගොස් ජනාධිපති ලේකම්වරයාට ඉල්ලීම් ඇතුළත් සන්දේශයක් ද භාරදෙනු ලැබුවා.

අනතුරුව ඊට එක්ව සිටි ආබාධිත රණවිරුවන් නැවතත් කොළඹ කොටුව දුම්රියපල ඉදිරිපිටට පැමිණ විරෝධතාව ආරම්භ කළේ තම ගැටළුවට විසඳුම් නොලැබුණු බව පවසමින්.

ඔවුන් ඊයේ රැය පහන් කළේ ද කොටුව දුම්රියපල ඉදිරිපිට සිටයි.

පසුව අද උදෑසන ඔවුන් නැවතත් කොටුව දුම්රියපල ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරතවූ අතර ඒ හේතුවෙන් අවට මාර්ග රැසක දැඩි රථවාහන තදබදයක් දක්නට ලැබුණා.

පසුව මාර්ගය අවහිර කිරීම වළක්වාලමින් පොලීසිය ලබාගත් අධිකරණ නියෝගයක් හේතුවෙන් පිරිස අදත්  ජනාධිපති ලේකම් කාර්යාලය අසළට පැමිණි අතර, මේ වනවිටත්  එම ස්ථානයේ රැඳී සිටිනවා.

ජනාධිපති ලේකම් කාර්යාලයේ දොරටුව සහ අවට මාර්ග අවහිර නොකරන ලෙසද පොලීසිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝගයේ සඳහන් වුණා.

කෙසේ වෙතත් තමන් අධිකරණ නියෝගයට ගරු කරමින් කටයුතු කරන බවයි එම ස්ථානයේ සිට හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ  රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගයේ සභාපති යූ.ඩී. වසන්ත  කියා සිටියේ.

මේ අතර අද උදෑසන කොටුව දුම්රියපල ඉදිරිපිට විරෝධතාව පැවැත්වූ ස්ථානයට පැමිණි පිවිතුරු හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල කියා සිටියේ රණවිරුවන්ට විශ්‍රාම වැටුප් ලබාදීමට මුදල් වෙන් කරන්නේ නම්  ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුවේදී ඊට සහය දක්වන බවයි.

මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයද අද පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් මේ පිළිබඳ අදහස් දැක්වූ අතර, එහි කැඳවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න එහිදී කියා සිටියේ අතීතයේ දේශයේ මුර දේවතාවන් දැන් නැවතත් හමුදාකාරයන් බවට පත්ව ඇති බවයි.