Update: අභාවප්‍රාප්ත අමරදේව ශූරීන්ගේ අවසන් කටයුතු ලබන සෙනසුරාදා

Thursday, 03 November 2016 - 11:21

Update%3A+%E0%B6%85%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD+%E0%B6%85%E0%B6%B8%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%80+%E0%B7%81%E0%B7%96%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B7%83%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%8F
අභාවප්‍රාප්ත ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව ශූරීන්ගේ අවසන් කටයුතු ලබන සෙනසුරාදා පස්වරුවේ පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරස‍්‍රයේදී සිදුකිරීමට රජය තීරණය කර තිබෙනවා.

එමෙන්ම, ජනාධිපතිවරයාගේ නියමයෙන් සතියක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට ද සැලසුම් කර ඇති බවයි කොළඹ අද (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන සදහන් කළේ.

ඩබ්ලිව්.ඩී. අමරදේව ශූරීන් අද (03) උදෑසන 6.40 ට පමණ ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කෙරුණේ හදිසි හෘදයාබාධයක් හේතුවෙන්.

එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අමරදේව ශූරීන් පෙරවරු 10.40 ට පමණ අභාවප්‍රාප්ත වුණා.

මියයන විට 88 වන වියේ පසුවූ ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ දේහය හෙට පෙරවරු 10 ට මහජන ගෞරව සදහා කොළඹ නිදහස් චත්‍රරස‍්‍රයේ තැන්පත් කෙරෙනවා.

අනිද්දා පස්වරු 3.30 දක්වා ජනතාවට දේහයට අවසන් ගෞරව දැක්විය හැකි බවයි අමාත්‍ය වජිර අබේවර්ධන සදහන් කළේ.

එමෙන්ම, අමරදේව ශූරීන්ට ගෞරව දැක්වීම සදහා ජාතික කොඩිය ද අඩකුඹු කර තබන ලෙස ඔහු ඉල්ලා සිටියා.   

දේශයත්, ගීතයත් සනහාලූ හෙලයේ මහා ගාන්ධාර්වරයා වන ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව ශූරීන් අද දිවි මඩලින් සමුගත්තේ මෙරට සංගීත ක්ෂේත්‍රයට සදා නොමැකෙන හිඩසක් ඉතිරි කර තබමින්. 

මියයන විට ඔහුගේ වයස අවුරුදු 88 ක්.

මේ අතර 20 වන සියවසේ බිහිවූ අසිරිමත් ගාන්ධර්වයකු මෙන්ම අසාමාන්‍ය සංස්කෘතික කලා ප්‍රාඥයකු වූ පණ්ඩිත් අමරදේවයන්ගේ අභාවය පිළිබදව ශ්‍රී ලංකා රජය මෙන්ම මුළුමහත් ජාතියම සංවේගය ප්‍රකාශ කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශෝක පණිවුඩයක් නිකුත් කරමින් පවසනවා.

අමරදේවයන් අයත් වන්නේ ශ්‍රී ලාංකීය ජාතික අනන්‍යතාවය හා එහි ස්වදේශීය ලකුණු සොයා ගිය විශිෂ්ඨයන්ගේ විදග්ධයන්ගේ පරපුරට බවයි ජනාධිපතිවරයා එම නිවේදනයෙන් පෙන්වා දෙන්නේ.

දේශීය සංගීතයේ අක්මුල් සොයා යමින් එහි රසභාව සුපෝෂණය කරමින් සිංහල සංගීතයට කරන ලද විශිෂ්ඨ සම්ප්‍රදායන් නිසාම මුළුමහත් ජාතියම ඔහු ණය ගැති බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය නිවේදනයෙන් අවධාරණය කරන්නේ.

මේ අතර, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ශෝක පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ පණ්ඩිත් අමරදේවයන්ගේ විශිෂ්ඨත්වය පවතිනුයේ සංගීතඥයෙකු, ගායකයෙකු, වාදකයෙකු ලෙස පමණක් නොව එතුමා තුළ වූ පුළුල් සාහිත්‍ය ඇසුරක් හෙළ බස මෙන්ම, පෙර අපරදෙදිග භාෂාවන් ගණනාවක් සම්බන්ධයෙන් හසල දැනුමක් ඇති මහා සාහිත්‍යවේදියෙකු ලෙසයි.

ලාංකීය සංගීත ක්ෂේත්‍රයට, ගීත කලාවට, අග්‍රගන මෙහෙවරක් කළ හෙළයේ මහාගාන්ධර්වයාණන් වූ ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් දැයෙන් සමුගත්තේ අප සංගීත ක්ෂේත්‍රයේ යුගයක නිමාව සනිටුහන් කරමින් බවයි අග්‍රාමාත්‍යවරයා සිය නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර ද ශෝක පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ හෙළයේ මහාගාන්ධර්වයාණන් ලෙස අමරදේව ශ්‍රීමතාණන් සදාකාලිකවම මෙරට මහජන සිත්සතන්වල වීරකාව්‍යයක් බවයි.

හෙළයේ මහා ගාන්ධර්වයාණන් වූ ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී අමරදේවයන් පිළිබඳ හිරු ප්‍රවෘත්ති තබන සටහනක් මේ.





දැයෙන් සමුගත් අමරදේව ශූරීන්ගේ දේහය රෝහලෙන් රැගෙන ගිය අයුරු පහතින්.



Update : Thursday, 03 Nevember 2016 - 14.14
-------------------------------------------------------------------------------------------------------

හෙළයේ මහා ගාන්ධර්වයා ලෙස සැළකෙන ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව ශූරීන් අද දිවි රඟමඩලෙන් සමුගත්තා.

හෘදයාබාධයක් හේතුවෙන් අද උදෑසන ශ්‍රී ජයවර්ධනපුර රෝහලට  ඇතුළත් කෙරුණු අමරදේව ශූරීන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි මෙලෙස අභාවප්‍රාප්ත වුණේ.

1927 දෙසැම්බර් මස 5 වනදා මොරටුවේදී මෙලොව එළිය දුටු අමරදේව ශූරීන් මියයන විට 88 වන වියේ පසුවුණා.

වන්නකුවත්ත වඩුගේ දොන් ඇල්බට් පෙරේරා නම් වූ මොහු ප්‍රකට ගායකයෙකු මෙන්ම සංගීතඥයෙකු ලෙස හඳුනාගනු ලබන්නේ ඔහුගේ ආරෝපිත නාමය වූ අමරදේව නමින්. 

අමරදේව ශූරීන් ශ්‍රී සද්ධර්මෝදය මිශ්‍ර පාසලෙන් සිය අධ්‍යාපන කටයුතු ආරම්භ කර පසුව ද්විතීක අධ්‍යාපනය සඳහා පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයට ඇතුලු වුණා.

ඉන් අනතුරුව ඔහු කළුතර විද්‍යාලයට සහ බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලයට ඇතුලුවී සිය අධ්‍යාපන කටයුතු අවසන් කළා.

විමලා අමරදේව සමඟ විවාහ වූ අමරදේව ශූරීන් දරුවන් තිදෙනෙකුගේ පියෙකුද වනවා.

අශෝකමාලා චිත්‍රපටය රූගත කරන අවධියේ එම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්‍ෂවරයා වූ මොහොමඞ් ගවුස් මාස්ටර්ගේ සංගීත කණ්ඩායමේ ප්‍රධාන වයලීන් වාදකයා ලෙස අමරදේව ශූරීන් ඊට සම්බන්ධ වුණා.

අමරදේව යන නාමය ඔහුට ලබාදී ඇත්තේ් මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන් විසින්.

ලක්නව් හි පිහිටි භාත්කණ්ඩ සංගීත විද්‍යා පීඨයෙන් අධ්‍යාපනය හැදෑරූ පණ්ඩිත් අමරදේවයන් පසුව ශ්‍රී ලංකාවට පැමිණ ගුවන් විදුලි සංස්ථාව හා සම්බන්ධව කටයුතු කළා.

පිලිපීන රමෝන් මැග්සේසේ සම්මානය, ඉන්දියානු පද්මශ්‍රී සම්මානය, කලාකීර්ති ජනාධිපති සම්මානය, දේශමාන්‍ය සම්මානය ආදී සම්මාන රැසක් පණ්ඩිත් අමරදේවයන් විසින් දිනාගෙන තිබෙනවා.

එමෙන්ම 1967 වසරේදී යුනෙස්කෝ මැනිලා සිම්පෝසියම  නිර්මාණය කළ අමරදේව ශූරීන් මාලදිවයින් ජාතික ගීයේ තනු නිර්මාණකරුද වනවා.

අමරදේවයන්ගේ සමුගැනීම පිළිබඳව ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා තම සංවේගය පළකලේ මේ අයුරින්.