අධික වර්ෂාවෙන් දිවයින පුරා 4000 ඉක්ම වූ පිරිසකට පීඩා.

Monday, 07 November 2016 - 18:55

%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+4000+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8+%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%93%E0%B6%A9%E0%B7%8F.
අද සන්ධ්‍යාවේත් දිවයිනේ පළාත් රැසකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම ප්‍රදේශවල වැසි ඇති වන විට තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මේ අතර, කළුතර, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලට ඊයේ දිනයේ ඇති වූ වර්ෂාපතනය හේතුවෙන් දකුණු පළාතේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවුණා.

මාතර, තොටමුණ, දෙවිනුවර, වල්ගම, පීක්වැල්ල සහ පොල්අතුමෝදර යන ප්‍රදේශවල ජනතාව ජල ගැලීම් හේතුවෙන් පීඩාවට පත්වුණා.

ජල ගැලීම් නිසා මේ වන විට දිවයින පුරා පුද්ගලයින් 4127 දෙනෙකු පීඩාවට පත්වී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ.

පීක්වැල්ල ප්‍රදේශයේ පස් කන්දක් කඩා වැටීමෙන් නිවාස 6 කට ද හානි සිදුවූ අතර එහි සිටි ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කෙරුණු බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

මේ අතර, ගාල්ල, ඉමදූව, බද්දේගම, උඩුගම, නාගොඩ, වැලිවිටිය සහ දිවිතුර ඇතුළු ප්‍රදේශ කිහිපයක් ද ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමන කටයුතු වලට බාධා එල්ල වුණා.

කෙසේ වෙතත් මේ වනවිට එම ප්‍රදේශවල ගමනාගමනය යථා තත්ත්වයට පත්ව ඇතැයි හිරු වාර්තාකරුවන් සඳහන් කළා.

අධික වැසි සහ කාලගුණ තත්ත්වය නිසා කළු සහ ගිං ගඟේ ද ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා.

රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට ඊයේ දිනයේ පැවති වර්ෂාවත් සමඟ නායයාම් සහ පස්කඳු කඩා වැටීමේ අවදානම් ඇතිවිය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළා.

කෙසේ වෙතත්, මේ වනවිට එම ප්‍රදේශවල වැසි තත්ත්වය පහව ඇති අතර නැවත එම ප්‍රදේශවලට වැසි ඇතිවුවහොත් අවදානම් තත්ත්වය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන බවයි එහි නායයාම් අංශයේ ප්‍රධානී ආර්.එම්.එස් බණ්ඩාර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.