නීතිපති, පුංචි ඡන්දය ගැන අදහස් දැක්වීමෙන් වළකී

Tuesday, 08 November 2016 - 8:20

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%2C+%E0%B6%B4%E0%B7%94%E0%B6%82%E0%B6%A0%E0%B7%92+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%85%E0%B6%9A%E0%B7%93
සීමා නිර්ණය සම්බන්ධයෙන් ගැටළු නොපවතින පළාත්පාලන ආයතනවල ජන්දය විමසීමට පවතින නීතිමය තත්ත්වය පැහැදිලි කරන්නැයි මැතිවරණ කොමිෂන් සභාව කළ ඉල්ලීමට මෙම අවස්ථාවේ අදහස් පළ කළ නොහැකි බව නීතිපතිවරයා දැනුම් දී තිබෙනවා.

මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ පළාත් පාලන ඡන්ද විමසීමට අදාලව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 03ක් විභාග වන බැවින් ඊට ගරු කිරීමක් ලෙස ඒ සම්බන්ධයෙන් අදහස් දැක්විය නොහැකි බව නීතිපතිවරයා කොමිසම වෙත ප්‍රකාශ කර ඇති බවයි.

සීමා නිර්ණය සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැති පළාත් පාලන ආයතන 61ක ඡන්දය පැවැත්වීම පිළිබඳව නීතිමය තත්ත්වය පැහැදිලි කරන්නැයි මැතිවරණ කොමිසන් සභාව නීතිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර තිබුණා.

පළාත් පාලන ආයතන 61කට අදාලව ජන්දය පැවැත්වීමට නියෝග කරන්නැයි ඉල්ලා පැෆ්රල් සංවිධානය ඇතුළු පළාත් පාලන ආයතන සභිකයන් කිහිප දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබෙනවා.

අලුතින් සම්මත කරගත් පළාත් පාලන මැතිවරණ සංශෝධන පනතට අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නම් කොට්ඨාශ සීමා අලුතින් නිර්ණය කළ යුතු වනවා.

මේ අතර, සීමා නිර්ණ පිරුවටය තුළ සිය දේශපාලන නිරුවත වසා ගැනීමට ආණ්ඩුවට මින් පසු හැකියාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසනවා.

ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් පිරිසක් ඊයේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය හමුවී පළාත් පාලන මැතිවරණය පිළිබඳව කරුණු විමසා තිබුණා.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 5 දෙනෙකු සහ හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ මෙලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මුණ ගැසී පැය දෙකකට ආසන්න කාලයක් සාකච්ඡා කර තිබුණා.