ජනපති යළි දිවයිනට

Tuesday, 08 November 2016 - 8:58

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7
ඉන්දියාවේ දෙදින නිළ සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ රාත්‍රියේ නැවත ශ්‍රී ලංකාවට පැමිණියා.

ජනාධිපතිවරයා ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්. 196 දරණ ගුවන් යානයෙන් ඊයේ රාත්‍රී 10 ට පමණ කටුනායක ගුවන් තොටුපළට ළඟා වූ බවයි හිරු ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර ජනාධිපතිවරයා ඊයේ පස්වරුවේ ඉන්දියාවේ ජාතික කෞතුකාගාරයේ තැන්පත් කර ඇති කපිල වස්තුපුර ශ්‍රී  සර්වඥ ධාතූන් වහන්සේ වැද පුදා ගත්තා. අනතුරුව ජනාධිපතිවරයා ප්‍රමුඛ දූත පිරිස ඉන්දීය ජාතික කෞතුකාගාරය නැරඹීමට ද එක්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

ඉන් අනතුරුව ජනාධිපතිවරයා ඉන්දියානු මහබෝධි සමාගමේ නවදිල්ලි මධ්‍යස්ථානය වෙත පැමිණියා.

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගෙන් පසුව එහි සංචාරය කළ ශ්‍රී ලාංකික රාජ්‍ය නායකයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනයි.

ජනාධිපතිවරයා, එහි විහාරාධිපති පූජ්‍ය රත්මල්වල සුමිත්තානන්ද හිමියන් සමඟ සුහද කතාබහක නිරත වී ඇති අතර, උන්වහන්සේ ජය පිරිත් දේශනා කර ජනාධිපතිවරයාට ආශිර්වාද පළ කළා.

එහිදී මල් පහන් පූජා කර ආගමික වතාවත්වල නිරත වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විහාරස්ථාන පරිශ්‍රයේ ඇති අනගාරික ධර්මපාල පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූ බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.