අයවැයෙන් ආර්ථිකය නිවැරදි දිශාවට - ආණ්ඩුව කියයි,අරමුණක් නැති අයවැයක් - විපක්ෂයෙන් චෝදනා

Friday, 11 November 2016 - 7:51

%E0%B6%85%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B7%81%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+-+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92%2C%E0%B6%85%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+-+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
ලබන වසර සඳහා වන අයවැය මුදල් අමාත්‍ය රවී කරුණානායක ඊයේ (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.

මෙය නිදහස් ශ්‍රී ලංකාවේ 70 වන අයවැය වන අතර, වත්මන් යහපාලන රජයේ 02 වන අයවැයයි.

මුදල් අමාත්‍යවරයා පැය 03 ට අධික කාලයක් අයවැය කතාව ඉදිරිපත් කළ අතර, එම අවස්ථාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනද පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණ සිටීම විශේෂත්වයක්.  

සිය අයවැය කතාව ආරම්භ කරමින් මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ ලබන වසරේදී 7% ක ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීම රජයේ අපේක්ෂාව බවයි.

එමෙන්ම ඉතිහාසයේ පළමු වතාවට මෙවර අයවැය සකස් කිරීම සඳහා ජනතා අදහස් ලබාගත් බව මුදල් අමාත්‍යවරයා කියා සිටියා.

කෘෂිකර්මාන්තයට මුල්තැන ලබාදෙමින් අයවැය ඉදිරිපත් කරන බව සඳහන් කළ මුදල් අමාත්‍යවරයා කියා සිටියේ පළතුරු සහ එළවළු කර්මාන්තකරුවන් සඳහා 50% ක ණය පොලි සහනාධාරයක් ලබාදීමට පියවර ගන්නා බවයි.

 දේශීය නිෂ්පාදකයින් රැක ගැනීම සඳහා ආනයනික සීනි සඳහා 2% ක සහ එතනෝල් සඳහා 5% ක සෙස් බද්දක්ද පනවනු ලැබුවා.

කිරි එළදෙනුන් 15,000 ක් ආනයනය කෙරෙන අතර, එක් කිරි ගොවියෙකුට අවම වශයෙන් එළදෙනුන් දස දෙනෙකු ලබාදීමට පියවර ගන්නා බවයි මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ.

එමෙන්ම, වැවිලි සමාගම් සඳහා ලබාගත හැකි ඉඩම් ප්‍රමාණය අක්කර 5000 දක්වා සීමා කෙරුණා.

තේ කර්මාන්තය සඳහා වන බදු සරල කරන බව ප්‍රකාශ කළ මුදල් අමාත්‍යවරයා රබර් වගාව සංවර්ධනයට රුපියල් මිලියන 900 ක මුදලක් ලබාදෙන බවයි කියා සිටියේ.

ආනයනික කිරිපිටි සදහා රේගු බදු රුපියල් 100 කින් අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.  

දේශීය කිරි නිෂ්පාදනය වැඩි කිරීමට පාරිභෝගිකයින් පෙළඹවීම සඳහා ග්‍රෑම් 400 යේ කිරිපිටි පැකට්ටුවක මිල අඛණ්ඩව පවත්වාගෙන යනවා.

එමෙන්ම, කුකුළු මස් මත පනවා ඇති උපරිම සිල්ලර මිල තවදුරටත් ලිහිල් කරන බවයි මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙවර අයවැයෙන් අධ්‍යාපනය සඳහා රුපියල් මිලියන 17,840 ක මුදලක් අතිරේක ප්‍රතිපාදනයක් ලෙස ලබාදෙන බවයි මුදල් අමාත්‍යවරයා කියා සිටියේ.

විශේෂ අධ්‍යාපනය ලබන සිසුන්ට ලබාදෙන දෛනික දීමනාව රුපියල් පනහේ සිට 150 දක්වා ඉහළ නංවා තිබෙනවා.

එසේම 2017 වසරේ උසස් පෙළ පන්තිවලට ඇතුළුවන සිසුන් එක්ලක්ෂ 75,000 කට සහ උසස් පෙළ ගුරුවරුන්ට ටැබ් පරිගණක ලබාදීමට කටයුතු කරන බවද මුදල් අමාත්‍යවරයා අයවැය කතාව ඉදිරිපත් කරමින් කියා සිටියා.

එමෙන්ම, අවුරුදු පහේ සිට 19 දක්වා වයස් කාණ්ඩයේ පසුවන ලක්ෂ 45 ක් පමණ වන පාසල් දරුවන් සඳහා රුපියල් ලක්ෂ දෙකක් වටිනා රක්ෂණාවරණයක් හඳුන්වා දෙන බවද මුදල් අමාත්‍යවරයා අයවැය කතාව ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළා.

සියලූම ඖෂධහල් ජාතික ඖෂධ අධිකාරියේ ලියාපදිංචිය විය යුතු වනවා.

එමෙන්ම, සෑම රෝගියෙකුටම රෝහලෙන් පිටවන විට තම ප්‍රතිකාර සඳහා ගිය වියදම සටහන් කළ ලියවිල්ලක් ලබාදෙන බව මුදල් අමාත්‍යවරයා කියා සිටියා.

ඉදිකිරීම් කර්මාන්තයට අදාළව පැවති 25% ක සෙස් බද්ද මෙවර අයවැයෙන් ඉවත් කෙරුණා.

එමෙන්ම, මෙරට ආයෝජනයට පැමිණෙන විදේශිකයන් සඳහා පස් අවුරුදු වීසා ලබාදීමට කටයුතු කරන බවයි මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ. එමෙන්ම, මෙරට ප්‍රධාන ශාඛා පිහිටුවීමට කැමති ආයෝජන සමාගම් සංස්ථාපිත බද්දෙන් නිදහස් කෙරුණා.

මේ අතර, රුපියල් මිලියන දහසක් උපයා ගැනීම සඳහා ග්‍රෑන්ඞ් හයට්, ග්‍රෑන්ඞ් ඔරියන්ටල්, හිල්ටන්, වෝටර්ස් එජ්, රේස්කෝස්, මන්නාරම සහ හම්බන්තොට ලුණු ලේවායන් කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත කෙරෙනු ඇති.
 
මේ අතර, සීනි, පරිප්පු, හාල් මැස්සන්, මුංඇට, ගෘහස්ථ ගෑස්, භූමිතෙල් ඇතුළු භාණ්ඩ වර්ග 07 ක මිලද අඩු කෙරුණා.

ත්‍රීරෝද රථ වෙනුවට රෝද හතරේ විද්‍යුත් කාර් හඳුන්වාදීමට පියවර ගන්නා බවයි මුදල් අමාත්‍ය රවී කරුණානායක කියා සිටියේ.

මධ්‍ය ආදායම් ලබන පවුල් සඳහා නිවාස පන්ලක්ෂයක් ඉදිකිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි මුදල් අමාත්‍යවරයා අයවැය කතාව ඉදිරිපත් කරමින් සඳහන් කළේ.

දායක විශ්‍රාම වැටුප් ක්‍රමය ආරම්භ කිරීමට මෙවර අයවැයෙන් රුපියල් මිලියන දහසක මුදලක් වෙන් කෙරුණා.

එමෙන්ම, සමෘද්ධි සහනාධාරය ඉදිරියේදී ජනඉසුරු ලෙස නම් කරන බවයි මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ.

එමෙන්ම, රාත්‍රි නවයේ සිට අලුයම 5 දක්වා කාලය ඇතුළත අධිවේගී මාර්ගවල ගාස්තුව රුපියල් 50 කින් අඩු කිරීමට පියවර ගැනුණා.

ඊට අමතරව ආනයනික කිරිපිටි සඳහා රේගු බදු රුපියල් සියයකින් අඩු කිරීමට යෝජනා කෙරුණු අතර, විදුලි සංදේශ බදු 25% කින් ඉහළ නැංවීමටයි යෝජනා කර ඇත්තේ.

 පණ්ඩිත් අමරදේව සංගීත ආශ්‍රමය ඉදිකිරීම සදහා රුපියල් මිලියන 25 ක මුදලක් ද අයවැයෙන් වෙන් කෙරුණා.

එමෙන්ම, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ නිධානය වැනි චිත්‍රපටි සංරක්ෂණය සදහා ඒකකයක් ජාතික චිත්‍රපට සංස්ථාවේ ආරම්භ කරන බව ප්‍රකාශ කළ මුදල් අමාත්‍යවරයා අයවැයෙන් ඒ සදහා මිලියන 50 ක් වෙන් කර ඇති බව සදහන් කළා.