උතුරුමැදට ජලය බෙදන්න අලුත් සැලසුමක්

Saturday, 12 November 2016 - 8:15

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BD%E0%B6%BA+%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
වියළි කාලගුණ තත්ත්වයන් හිදී උතුරුමැද පළාතේ වැව් සහ ජලාශවල ජලය රඳවා පවත්වා ගැනීම සඳහා යෝජනා සහ සැලසුම් ලබා ගැනීමේ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඊයේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.

ඊට අමාත්‍යාංශ ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.

ජනාධිපති කාර්යාලයේ පැවැති මෙම සාකච්ඡාවේදී වැව් සහ ජලාශවල ජල මට්ටම ආරක්ෂා කර ගැනීම සඳහා රජය දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද අවධානය යොමු වුණා.

යෝජිත නව ක්‍රමවේදයන්ට අනුගතව මහවැලි ගඟෙන් කාලිංග නුවර සිට අංගමැඩිල්ල අමුණ දක්වා සහ එතැන් සිට මින්නේරිය වාරි පද්ධතිය දක්වා ජලය පොම්ප කිරීමට ඇති හැකියාව පිළිබදව ද අදාළ නිලධාරීන් ජනාධිපතිවරයාව දැනුවත් කර තිබෙනවා.

එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ නව යෝජනාව සම්බන්ධයෙන් මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශයේ මෙන්ම වාරි මාර්ග සහ වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ සාකච්ඡා කර ඉදිරි සතිය තුළ වාර්තාවක් ලබාදෙන ලෙසයි.

ඊට අදාළව තාක්ෂණික කමිටුවක් පත් කරන ලෙස ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන උපදෙස් ලබාදී තිබෙනවා.

මේ අතර, නිරෝගී ජනතාවක් බිහි කිරීමේ කාර්යයේදී ජනතාවගේ පෝෂණ තත්ත්වය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.

ඒ, ශ්‍රී ලංකා වෛද්‍ය පෝෂණවේදීන්ගේ සංගමය සංවිධාන කළ සම්මන්ත්‍රණයක් කොළඹ දී ඊයේ අමතමින්.

සෑම සෞඛ්‍ය නිලධාරී කොට්ඨාශයකටම පෝෂණ විශේෂඥ වෛද්‍යවරුන් එක් අයෙකු බැගින් හෝ පත් කිරීමට ඉදිරියේදී හැකි වනු ඇති බව ද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.