අද සිට යළි තද වැසි

Sunday, 13 November 2016 - 6:34

%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%AD%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
දිවයින පුරා යළි තද වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් ඇතිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඒ අනුව අද සිට මිලිමීටර 100 ඉක්මවූ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අකුණු අනතුරු අවම කරගැනීම පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස ද කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ ජනතාවගෙන් ඉල්ලා සිටියා.

බොහෝ පළාත්වලට සවස 2 පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනවා.

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ට වඩා තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කලේ.

උතුර / නැගෙනහිර / ඌව සහ දකුණු පළාත්වල පෙරවරුවේ ද වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා.

එමෙන්ම බස්නාහිර / සබරගමුව / මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ප්‍රදේශවල උදය කාලයේ මිහිදුම් තත්වයක් ද පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කලා.

මේ අතර මස්කෙලිය - සාම්මලේ - ෆෙයාර්ලොන් වතුයායේ සූරියකන්ද ප්‍රදේශයට ඊයේ ඇද හැලූණු අධික වර්ෂාව හේතුවෙන් නාය යාමේ අවදානමක් මතුවීම නිසා පුද්ගලයන් රැසක් ආරක්ෂිත ස්ථාන වෙත රැගෙන ගියා.  

අසල වතු කම්කරු නිවාස පේළියක පදිංචිව සිටි පවුල් 8කට අයත් පුද්ගලයන් 29 දෙනෙකු ඔවුන්ගේ ඥාති නිවෙස්වල සහ වතු යායේ ළමා නිවාසයේ තාවකාලිකව පදිංචි කළ බවයි පොලීසිය සඳහන් කළේ.

එසේම මස්කෙලිය - මාවුස්සාකැළේ ජලාශයට ඉහළ පෝෂක ප්‍රදේශවලට ඇද හැලූණු අධික වර්ෂාව හේතුවෙන් එම ප්‍රදේශයේ පිහිටි වතු නිවාසවලට පහලින් වූ කොටසක්ද නාය ගොස් තිබුණා.