කතරගම පූජා භූමියේ ළමයින් සිඟමනේ යෙදවීමේ ජාවාරමක්

Monday, 14 November 2016 - 19:02

%E0%B6%9A%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8+%E0%B6%B4%E0%B7%96%E0%B6%A2%E0%B7%8F+%E0%B6%B7%E0%B7%96%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%85%E0%B6%B8%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%9F%E0%B6%B8%E0%B6%B1%E0%B7%9A+%E0%B6%BA%E0%B7%99%E0%B6%AF%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
කතරගම පූජා භූමිය තුළ කුඩා දරුවන් සිඟමනේ සහ වෙළඳාමේ යොදවන බවට ප්‍රදේශයේ ආගමික නායකයින් චෝදනා එල්ල කරනවා.

ඇතැම් ළමයින් පාසල් නොගොස්, පූජා භූමිය තුළට පැමිණ වෙළඳාමේ නිරත වන අතර, තවත් පිිරිසක් පාසල් නිමා වී පූජා භූමිය තුළ දෙමාපියන් සමඟ සිඟමනේ යෙදෙන බවටයි වාර්තා වන්නේ.

වයස අවුරුදු 10 සිට 14 වයස්වල පසුවන දරුවන් පූජාවන් සඳහා පැමිණෙන බැතිමතුන්ගේ පූජා වට්ටි රැගෙන ගොස් ඔවුන්ට උපකාර කරමින් මුදල් ලබා ගන්නා ආකාරයක් ද වාර්තා වුණා.

රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කතරගම ශ්‍රී අභිනවාරාමාධිපති ශාස්ත්‍රපති කපුගම සරණතිස්ස හිමියන් හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ ඇතැම් ළමයින් මත්ද්‍රව්‍ය පානයට සහ සොරකම්වලට ද යොමුවී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් අප කතරගම පොලිස් ස්ථානයේ සිදුකළ විමසීමකදී එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ ඇතැම් පවුල්වල ළමුන්ට සිය දිළිඳුකම හේතුවෙන් මෙලෙස වෙළඳ ව්‍යාපාරවල සහ බැතිමතුන්ට උදව් උපකාර කරමින් මුදල් සොයා ගන්නා බවයි.

එමෙන්ම පසුගිය 12 වනදා පිළියන්දල ප්‍රදේශයෙන් පැමිණ සොරකමේ නිරත වූ කාන්තාවන් තිදෙනෙකු සහ කුඩා ළමයින් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව ද ඔහු සඳහන් කළා.

පසුව, කාන්තාවන් තිදෙනා ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර, දරුවන් තිදෙනා හම්බන්තොට පරිවාස කාර්යාලයට භාරදී තිබෙනවා.

ඔවුන් ජනයා ගැවසෙන දිනවල කුඩාදරුවන්ගේ ගෙලෙහි බැඳ ඇති රන් මාල සොරකම් කරන බවටයි පොලිසියට තොරතුරු ලැබී ඇත්තේ.

අදාළ කාන්තාවන් දෙදෙනා විසින් මෙම කුඩා දරුවන් තිදෙනා ලවා මෙලෙස සොරකම් සිදුකරන බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය සඳහන් කළා.