කුරුණෑගලදී පොලීසියට වෙඩි තැබුවේ ප්‍රබල පාතාල නායකයෙක් බව හෙළිවෙයි

Wednesday, 16 November 2016 - 18:08

%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%91%E0%B6%9C%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B6%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8F%E0%B6%AD%E0%B7%8F%E0%B6%BD+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
කුරුණෑගල - පුත්තලම මාර්ගයේ මාස්පොත ප්‍රදේශයේ හෝටලයක් තුළ පොලිස් නිලධාරීන් පිරිසකට වෙඩි තැබූ සැකකරු, ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු වන දේවමුණි හැරල්ඩ් රෝහණ ද සිල්වා හෙවත් සුදු  රෝහණ නැමැත්තා බවට අනාවරණය වී තිබෙනවා.

ඔහු ලොහා නැමති අන්වර්ථ නාමයෙන්ද හඳුන්වන බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

මීට මාස 04 කට පෙර මහර මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම පාතාල සාමාජිකයෙකු වූ සුදේශ් වසන්ත නොහොත් ලන්සියා නැමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන්නේද ඔහුයි.

මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුගෙන් ඊයේ සිදුවු වෙඩි තැබීම සහ මිට පෙර සිදුකළ අපරාධ සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින් සිටින බව කුරුණෑගල ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළා.

ඔහු තවත් අයෙකු සමඟ ඊයේ රාත්‍රියේ මෝටර් රථයකින් අදාළ හෝටලය වෙත පැමිණ තිබුූ අතර එම අවස්ථාවේ ජංගම මුර සංචාරයේ යෙදෙමින් සිටි කුරුණෑගල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක්ද එම ස්ථානය වෙත ළඟාවී තිබුණා.

ඒ, ව්‍යාජ අංක තහඩුවක් සවිකළ මෝටර් රථයක් අදාළ හෝටලය අසල සැරිසරන බවට පොලිස් හදිසි ඇමතුම් අංකය වෙත ලද තොරතුරකට අනුවයි.

මීට පෙර මෙම මෝටර් රථය පැහැරගෙන තිබූ අතර, එහි හිමිකරු  ජී.පී.එස්. තාක්ෂණය ඔස්සේ එය කුරුණෑගල ප්‍රදේශයේ පවතින බවට හෙළිකර ගැනීමෙන් අනතුරුවයි ඥාතියෙකු මාර්ගයෙන් එලෙස පොලීසියට තොරතුරු ලබාදී තිබුණේ.

ඒ අනුව පොලිස් නිලධාරීන් හෝටලයට පැමිණෙන විට සුදු රෝහණ සහ තවත් පුද්ගලයෙකු හෝටලයේ කාමරයක නිදමින් සිට තිබෙනවා.

හෝටල් කළමනාකරු දැනුම්වත් කර පසුව සැකකරුවන් දෙදෙනා සමඟ මෝටර් රථය පරීක්ෂා කළ පොලිස් නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිසියට යාමට පැමිණෙන ලෙස ඔවුන්ට දැනුම්දී තිබෙනවා.

එම අවස්ථාවේදී දැනට අත්අඩංගුවේ පසුවන සුදු රෝහණ විසින් පොලිසියට වෙඩි ප්‍රහාර එල්ල කළ බවයි හෝටලයේ කළමනාකරු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

වෙඩි ප්‍රහාරයෙන් කුරුණෑගල පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකු වන 59 හැවිරිදි රත්න බණ්ඩා දිසානායක ජීවිතක්ෂයට පත්වුණා.

එමෙන්ම, පොලිස් සැරයන්වරයෙකු සහ පොලිස් කොස්තාපල් රියදුරෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණා.

සිද්ධියෙන් පසු සුදු රෝහණ සහ ඔහු සමඟ සිටි අනෙක් පුද්ගලයා පළා ගිය අතර, පසුව ඔහු පොලිසිය අත්අඩංගුවට ගත්තේ කුරුණෑගල සිට වාරියපොල දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයකින් ගමන් කරමින් සිටියදීයි.   

පළා ගිය පුද්ගලයාද මාතර රොෂාන් නැමැති පාතාල කල්ලි සාමාජිකයෙකු ලෙසට පොලිසිය හඳුනාගෙන තිබෙනවා.

ඔහු සෙවීම සඳහා මේ වනවිට පොලිසිය මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, ඊට පොලිස් කණ්ඩායම් විශාල ප්‍රමාණයක් එක්ව සිටින බව සඳහන්.

ඔවුන් රැඳී සිටි හෝටල් කාමරයේ තිබී ජංගම දුරකථන 16 ක් සොයාගෙන ඇති අතර, මෝටර් රථයේ තිබී ව්‍යාජ අංක තහඩු 8 ක්ද පොලීසිය සොයාගත්තා.

සුදු රෝහණ නැමැත්තාගේ හැඳුනුම්පත සහ රියදුරු බලපත්‍රය ව්‍යාජ එකක් බවටද අනාවරණ වී තිබෙනවා.