ඇප ලබා සිටි තුන්දෙනෙකු ගිනි අවිත් සමඟ වැලිගමදී යළි අත්අඩංගුවට

Thursday, 17 November 2016 - 6:50

%E0%B6%87%E0%B6%B4+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B6%9C%E0%B6%B8%E0%B6%AF%E0%B7%93+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
වැලිගම - දෙණිපිටිය - කඩේවත්ත ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් තුන්දෙනෙකු ගිනි අවියක් සහ අත්බෝම්බයක් සමඟ පොලිසිය ඊයේ (16) අත්අඩංගුවට ගත්තා.

පොලීසිය සඳහන් කළේ හදිසි මාර්ග බාධක යොදා සිදුකළ මෙහෙයුමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.

ඔවුන් සතුව තිබී මෙරට නිෂ්පාදිත රිවෝල්වරයක්, ටී 56 ජීව උණ්ඩ 5 ක් සහ ජීව අත්බෝම්බයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

දෙණිපිටිය ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක් කොල්ලකෑම සඳහා මොවුන් යමින් සිටියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි පොලිසිය සදහන් කළේ.

සැකකරුවන් මීට සති දෙකකට පමණ පෙර ඇප මත නිදහස් වූ පුද්ගලයන් බවට ද අනාවරණ වනවා.

කොල්ලකෑම් සහ විවිධ වැරදි සම්බන්ධයෙනුයි මොවුන් මීට පෙර රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණේ.

මේ අතර, කුරුණෑගල - පුත්තලම මාර්ගයේ මාස්පොත ප්‍රදේශයේ හෝටලයක් තුළ පොලිස් නිලධාරීන් පිරිසකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රබල පාතාල කල්ලි නායකයා සොයා පොලිසිය මේ වනවිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

ඒ සදහා පොලිස් කණ්ඩායම් කිහිපයක් ද යොදවා ඇති බවයි කුරුණෑගල පොලිසියේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

දේවමුණි හැරල්ඞ් රෝහණ ද සිල්වා හෙවත් සුදු රෝහණ නමැති පාතාල කල්ලි නායකයා මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට අනාවරණය වී තිබෙනවා.

ඔහුව හදුන්වන්නේ ලොහා නැමති අන්වර්ථ නාමයෙන්.

මීට මාස 04 කට පෙර මහර මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම පාතාල සාමාජිකයෙකු වූ සුදේශ් වසන්ත නොහොත් ලන්සියා නැමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන්නේද මොහුයි.

මෙම වෙඩි තැබීමෙන් කුරුණෑගල පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකු මියගිය අතර තවත් පොලිස් නිලධාරින් දෙදෙනෙකු තුවාල ලැබුවා.