කෝටි 2 ක මත්කුඩු සමග ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලියක් කොටුවේ

Sunday, 20 November 2016 - 11:02

%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+2+%E0%B6%9A+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%9A
මෙරටට හෙරොයින් මත්කුඩු ගෙන්වා ප්‍රතිඅපනයනය කිරීමේ මහා පරිමාණ ජාවාරමට සම්බන්ධ  විදේශිකයන් සිව් දෙනෙකු රුපියල් කෝටි 2 ක මත්කුඩු සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගල්කිස්ස ප්‍රදේශයේදී ඊයේ (19) රාත්‍රියේ සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සදහන් කළේ.

අත්අඩංගුවට ගත් විදේශිකයන් අතර, පාකිස්ථාන ජාතිකයෙකු සහ මාලදිවයින් ජාතිකයන් තිදෙනෙකු වනවා.

පසුගිය මාස 5 ක කාලසීමාව තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුකළ වැටලීම් වලදී හෙරොයින් මෙරටට ගෙන්වීමේ මහාපරිමාණ ජාවාරමට සම්බන්ධ මාලදිවයින් ජාතිකයන් 10 දෙනෙකු පමණ අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වූයේ පාකිස්ථානයේ සිට මෙම හෙරොයින් මත්කුඩු ගෙන්වා මෙරට තුළදී කුඩා ඇසුරුම් සකස් කර යළි මාලදිවයිනට ප්‍රතිඅපනයනය කරන බවයි.

එම ජාවාරම පාකිස්ථානය කේන්ද්‍ර කර ගනිමින් සිදුවන බව ද ඔවුන් අනාවරණ කර තිබුණා.

පාකිස්ථාන ජාතිකයෙකු මෙරට රැදී සිටිමින් මෙම මහා පරිමාන හෙරොයින් ජාවාරම මෙහෙයවන බවටයි අත්අඩංගුවට පත් වූ මාලදිවයින් ජාතිකයන් අනාවරණ කළේ.

ඒ අනුව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැටලීම් කණ්ඩායම් 6 ක් යොදවා අදාළ පාකිස්ථාන ජාවාරම්කරු සහ සහායකයන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ආරම්භ කළා.

එහිදී අනාවරණ වූයේ ගල්කිස්ස ප්‍රදේශයේ මහල් නිවාසයක රැදී සිටිමින් මොවුන් මෙම හෙරොයින් මත්කුඩු ජාවාරම සිදුකරන බවටයි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අත්අඩංගුවේ පසු වූ එක් මාලදිවයින් ජාතිකයෙකු ද යොදා ගනිමින් මත්කුඩු මිලදී ගැනීමට පැමිණෙන බව පවසා පාකිස්ථාන ජාතික ජාවාරම්කරු සහ සෙසු මාලදිවයින් ජාතිකයින් තිදෙනා ගල්කිස්ස ප්‍රදේශයේ ස්ථානයකට ගෙන්වාගෙන තිබෙනවා.

එහිදී අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර, මෙම මහා පරිමාණ මත්කුඩු ජාවාරමට සම්බන්ධ තවත් මාලදිවයින් ජාතිකයන් ඇතුළු පිරිසක් පිළිබදව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය තොරතුරු අනාවරණ කරගෙන තිබෙනවා.

ඒ අනුව, ඔවුන් අත්ඩංගුවට ගැනීම සදහා අඛන්ඩ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බවයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

මේ අතර, ගුවන්තොටුපල ආරක්ෂක අංශය හා එක්ව මත්කුඩු ජාවාරම මැඩලීම සදහා වෙනමම වැඩපිළිවෙලක් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් ක්‍රියාවට නංවා තිබෙනවා.