ප්‍රවීණ රංගන ශිල්පී විමල් කුමාරද කොස්තා අභාවප්‍රාප්ත වෙයි

Sunday, 20 November 2016 - 17:11

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%93%E0%B6%AB+%E0%B6%BB%E0%B6%82%E0%B6%9C%E0%B6%B1+%E0%B7%81%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B7%93+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%AF+%E0%B6%9A%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%85%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ප්‍රවීන රංගන ශිල්පී විමල් කුමාර ද කොස්තා අද දහවල් අභාවප්‍රාප්ත වුවා.

හදිසි අසනීප  තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහු අභාවප්‍රාප්ත වූ අතර, මිය යන විට ඔහුගේ වයස අවුරුදු 68ක්.

1948 වසරේ කැළණියේ උපත ලද ප්‍රවීන රංගන ශිල්පී විමල් කුමාර ද කොස්තා මූලික අධ්‍යාපනය ලැබුවේ කැළණිය - ගුරුකුල විද්‍යාලයෙන්.

මෙරට අභිරූපන රංගන කලාවේ පුරෝගාමියෙකු ලෙස ද ඔහු සැලකෙනවා.

ගමේ නාට්‍ය රැසක ප්‍රධාන භූමිකාව නිරූපනය කළ ඔහු ප්‍රසිද්ධ වේදිකාවට ගොඩ වන්නේ ගොඩෝ එනකන් නාට්‍යයෙන්.

ආචාර්ය ධර්මසේන පතිරාජ, සුගතපාල ද සිල්වා වැනි ප්‍රවීනයන්ගේ නාට්‍ය රැසක විවිධ චරිත රගපෑ ඔහු 1973 වසරේ රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නළුවා වන්නේ සුගතපාල ද සිල්වාගේ දුන්න දුනු ගමුවේ නාට්‍යයේ රගපෑම වෙනුවෙන්.

කෙටි චිත්‍රපට ඔස්සේ සිනමාවට පිවිසෙන ඔහු රගපෑ මුල්ම වෘත්තාන්ත චිත්‍රපටය වන්නේ සිහින ලොවක් චිත්‍රපටයයි.

කෙසේ වෙතත්, එය තිරගතවීමට පෙර ධර්මසේන පතිරාජයන්ගේ අහස් ගව්ව චිත්‍රපටය තිරගත වූ අතර, ඒ වෙනුවෙන් ඔහුට ගෞරව සම්මානයක් හිමි වුණා.

එයා දැන් ලොකු ළමයෙක්, බඹරු ඇවිත්, මරුවා සමඟ වාසේ, සරුංගලේ, ඇර සොයිසා වැනි විවිධ තේමා ඔස්සේ සැකසුණු චිත්‍රපට ඔහු රගපෑ නිර්මාණවලින් කිහිපයක් පමණයි.