අනිද්දා වර්ජනය ගැන ප්‍රවාහන සංගම් අතර බෙදීමක්

Wednesday, 30 November 2016 - 18:21

%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
හෙට මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට නියමිතව ඇති පෞද්ගලික බස් වර්ජනයේ කිිසිදු වෙනසක් සිදු නොවන බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවකයන්ගේ සංගමය පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් එම සංගමයේ කැඳවුම්කරු යූ.කේ. රේණුක කියා සිටියේ  සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සමිති සම්මේලනය, අන්තර් පළාත් බස් රථ හිමියන්ගේ සංගමය සහ දකුණු පළාත් බස් රථ හිමියන්ගේ සංගමය සිය වර්ජනයට සහය පළ කරන බවයි.

පෞද්ගලික බස් සංගම් පවසන පරිදි වර්ජනය ක්‍රියාත්මක වුවහොත් ඊට මුහුණදීමට අවශ්‍ය සියලූ කටයුතු සූදානම් කර ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

එහි සභාපති රමාල් සිරිවර්ධන සඳහන් කළේ පළමුවනදා සිට සතියක කාලයක් සේවක නිවාඩුද අවලංගු කර ඇති බවයි.

ඉල්ලීම් හතරක් මුල් කරගෙන දෙසැම්බර් පළවනදා මධ්‍යම රාත්‍රියේ ආරම්භ කරන වැඩවර්ජනයේද කිසිදු වෙනසක් සිදු නොවන බව දුම්රිය සේවා වෘත්තිය සමිති සාමූහික සන්ධානයද ප්‍රකාශ කළා.

එහි කැඳවුම්කරු ජානක ප්‍රනාන්දු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට රජය ගෙන ඇති තීරණයට මෙමඟින් විරෝධය පළ කරන බවයි.

මේ අතර රථවාහන වැරදි හතක් වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට යෝජිත රුපියල් 25000 ක දඩය අතුරින් වමෙන් පැදවීම සඳහා පමණක් සඳහා වන  දඩ මුදල සංශෝධනය කිරීම තමා මැදිහත් වන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා  අද ප්‍රකාශ කර තිබුණා.

ඒ, ත්‍රිරෝද රථ සංගම්, පාසල් වෑන් රථ සංගම් සහ යතුරු පැදි සංගම්වල නියෝජිතයින් සමඟ ප්‍රවාහන අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදියි.

කෙසේ වෙතත් සාකච්ඡාවට එක්වූ  ත්‍රිරෝද රථ සංගම් දෙකක නියෝජිතයන් වර්ජන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැක්වූයේ පරස්පර අදහස්.

ඔවුන් ප්‍රවාහන වර්ජනයට එක්වන බව සහ නොවන බව පවසමින් උණුසුම් වචන හුවමාරුවක නිරතවුණා.