ප්‍රවාහන ක්ෂේත්‍රයේ ගැටලූ සොයා බැලීමට ජනපති නියමයෙන් විශේෂ මණ්ඩලයක්

Saturday, 03 December 2016 - 18:09

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B6%BD%E0%B7%96+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B6%E0%B7%90%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව බස් රථ වර්ජනය අත්හැරීමට පෞද්ගලික බස් සංගම් තීරණය කළා.

අද (03) පෙරවරුවේ ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි එම තීරණයට එළඹ ඇත්තේ.

අවම රථ වාහන දඩය සම්බන්ධයෙන් ඉහළ නැංවීමට විරෝධය පළ කරමින් පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට පෞද්ගලික බස් සංගම් කිහිපයක් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වුණා.

එම හේතුව මත උතුර පළාතේ හැර සෙසු පළාත්වල පෞද්ගලික බස් රථ ධාවනය නොවූ අතර, මේ හේතුවෙන් මගී ජනතාව දැඩි අපහසුතාවයට පත්වුණා.

ජනාධිපතිවරයා සමග පෙරවරුවේ පැවති සාකච්ඡා සදහා සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සමිති සම්මේලනය, අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ඇතුළු තවත් සංගම් කිහිපයක් එක්වුණා.

එම සාකච්ඡාවේදී අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සදහන් කළේ බස් හිමියන් මුහුණදී ඇති ගැටලූ සහ ප්‍රවාහන ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලූ පිළිබදව සොයා බැලීමට විශේෂ මණ්ඩලයක් පත් කරන බවයි.

එම මණ්ඩලය ලබන සදුදා බස් රථ හිමියන්ගේ නියෝජිතයින් හමුවීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ අතර, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න අද කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවා තිබුණා.

තමන් වර්ජන නොකර අනෙකුත් වෘත්තීය සමිති අද ලබාගත්තා යැයි පවසන විසඳුම පෙරේදා දිනයේදී ලබාගත් බවයි ඔහු කියා සිටියේ.

එමෙන්ම ලංගම බස් රථවලට පහරදුන් පුද්ගලයින් සොයා අත්අඩංගුවට ගත යුතු බවද ඔහු කියා සිටියා.

ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අන්තර් පළාත් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සරත් විජිත කුමාර කියා සිටියේ ජනාධිපතිවරයා ලබාදුන් පොරොන්දුව සම්බන්ධයෙන් තමන් විශ්වාසය තබන බවයි.

එමෙන්ම, මස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සම්මේලනයේ සභාපති ස්ටැන්ලි ප්‍රනාන්දු සඳහන් කළේ මෙම ජයග්‍රහණය ලබාගත්තේ පාවා දෙන්නන් පලවා හැරි නිසා බවයි.

සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සමිති සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් කියා සිටියේ අද දිනයේදී ජයග්‍රහණ දෙකක් ලබාගත් බවයි.

ඒ අනුව දඩ මුදල පෙර පැවති තත්වයට ගෙන ඒම සහ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පරාජයට පත් කිරීමට හැකි බවයි ඔහු සඳහන් කළේ.

මේ අතර, අමාත්‍ය රාජිත සේනාරත්න අද ගම්පහ ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව දඩ මුදල් ඉහළ නැංවීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් කියා සිටියේ බීමතින් රිය පැදවීම, රක්ෂණාවරණයක් නොමැතිව රිය පැදවීම වැනි වැරදිවලට රුපියල් 25,000 දඩය අය කළ යුතු බවයි.

වර්ජනය ක්‍රියාත්මක වූ ඊයේ (02) ලංකා ගමනාගමන මණ්ඩලයට වාර්තාගත ආදායමක් ඉපයීමට හැකියාව ලැබී තිබෙනවා.

කෙසේ වෙතත්, ඇතැම් ප්‍රදේශවලදී බස් රථවලට ප්‍රහාර එල්ල වූ අතර ඉන් බස් රථ 128 කට හානි සිදුව ඇති බවයි එහි සභාපති රමාල් සිරිවර්ධන සදහන් කළේ.   

මේ අතර, ඊයේ මීගමුව - ගල්කන්ද ප්‍රදේශයෙන් හලාවත - කොළඹ දුම්රිය සහ ප්‍රධාන මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරත වීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් 19දෙනා ලබන 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා.

ඒ ඔවුන් මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් ශාන්ත නිරිඇල්ල හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.