කලබල අස්සේ සිදුවන ව්‍යවස්ථා සංශෝධන ගැන, හිටපු ජනපති කළ විශේෂ ප්‍රකාශය

Sunday, 04 December 2016 - 18:48

%E0%B6%9A%E0%B6%BD%E0%B6%B6%E0%B6%BD+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%B1+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%2C+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%85+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA
එක්සත් ජාතික පක්ෂයට වහල් වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති පාවා නොදෙන ලෙස ආණ්ඩුවේ සිටින නිදහස් පක්ෂ අමාත්‍යවරුන්ගෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉල්ලීමක් කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ නිදහස් පක්ෂ කණ්ඩායමක් යොදා ගනිමින් ව්‍යවස්ථා සංශෝධන යෝජනා සම්බන්ධයෙන් මහනාහිමිවරුන් නොමඟ යැවීමේ උත්සාහයක් ක්‍රියාත්මක වී ඇති බවයි.

රටේ සියලු කලබල අස්සේ සිදුකෙරෙන ව්‍යවස්ථා සංශෝධන වැඩපිළිවෙල යන මාතෘකාව ඔස්සේ අදාළ නිවේදනය නිකුත් කරන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ අනු කමිටු වාර්තාවල අඩංගු යැයි කියන කරුණු කිහිපයක් එහි උපුටා දක්වා තිබෙනවා.

ඒකීය යන වචනය ව්‍යවස්ථාවෙන් ඉවත් නොකර රටේ ඒකීයභාවය අවසන් කිරීම සඳහා ඒවායේ යෝජනා රැසක් ඇතුළත් බවයි ඔහු සඳහන් කළේ.

ආණ්ඩුකාරවරුන්ගේ බලතල අහෝසි කිරීම, සමගාමී බලතල අහෝසි කිරීම, ඉඩම් සම්බන්ධ බලතල පළාත් සභාවලට පැවරීම, පොලිස් බලතල ලබාදීම, හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළ යෝජනා වැනි කරුණු රැසක් පිළිබඳ දීර්ඝ පැහැදිලි කිරීමක් හිටපු ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

එහිදී ඇතැම් කරුණු මගින් රජය දුර්වල වන බව සඳහන් කරන ඔහු ඇතැම් යෝජනා තුළින් අනවශ්‍ය ජාතික සහ ආගමික නොසන්සුන්තාවක් ඇති විය හැකි බවයි කියා සිටියේ.

මූලික අයිතීන් පිළිබඳ අනු කමිටුව භාෂාවේ ප්‍රමුඛත්වය පිළිබඳ සිදුකර ඇති යෝජනා පිළිබදව ද සටහන් කරන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ඊට අදාළ විධි විධාන අනවශ්‍ය අත්හදා බැලීම් තුළින් විනාශ නොකළ යුතු බව ද ප්‍රකාශ කරනවා.

බෙදුම්වාදීන්ට සහ විදේශීය බලවතුන්ට අදාළ කාරණා සාකච්ඡා කිරීමට පෙර ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් ලබාදුන් ප්‍රධාන පොරොන්දු ඉටු කරන ලෙස ද ඔහු රජයෙන් ඉල්ලා තිබීම විශේෂත්වයක්.