කරුණාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

Monday, 05 December 2016 - 12:50

%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%87%E0%B6%B4+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%B4+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනායගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් තමාට ඇප ලබාදෙන ලෙස කළ ඉල්ලීම අද ප්‍රතික්ෂේප කෙරුණා.

ඒ, ඔහු ඉදිරිපත් කළ ඇප අයදුම්පත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය හමුවේ අද සළකා බැලුනු අවස්ථාවේදියි.

පසුගිය රජය සමයේ වාහනයක් අවභාවිතා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පසුගිය 29 වනදා ප්‍රකාශයක් ලබාදීමට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටි අවස්ථාවේදී මොහු අත්අඩංගුවට ගැනුනා.

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා භාවිත කර ඇති රුපියල් කෝටි 9ක් පමණ වටිනා වෙඩි නොවදින මෙම ජීප් රථය මඩකලපුව ප්‍රදේශයේ ගරාජයකින් පසුගිය දා සොයා ගැනුණේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට ලැබුණු තොරතුරක් මතයි.

ජීප් රථයේ ලියාපදිංචි අංකයක් නොතිබුණු බවට විමර්ශනවලදී හෙළිවී ඇති බව අධිකරණය හමුවේ කරුණු දක්වමින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය ප්‍රකාශ කළා.

එමෙන්ම මෙම සිද්ධියට අදාළ විමර්ශන අවසන් නොමැති බවද ඔවුන් අධිකරණයට දැනුම්දුන්නා.

මේ අනුව සැකකාර හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ඇප ඉල්ලුම්පත අනිද්දා යළි සළකා බැලීමට නියෝග කරන අතර එදින දක්වා මොහු රිමාන්ඞ් භාරයේ පසුවනවා.