ජයලලිතා ජයරාම් අභාවප්‍රාප්ත වෙයි

Tuesday, 06 December 2016 - 6:14

%E0%B6%A2%E0%B6%BA%E0%B6%BD%E0%B6%BD%E0%B7%92%E0%B6%AD%E0%B7%8F+%E0%B6%A2%E0%B6%BA%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
6 වරක් තමිල්නාඩු මහඇමති ධුරය හෙබ වූ ජයලලිතා ජයරාම් අභාවප්‍රාප්ත වූ බව ඇය ප්‍රතිකාර ලබමින් සිටි රෝහල අද (06) අලුයම නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා.

මියයන විට ඇය  68වන වියේ පසුවුණා.

ඊයේ  පෙරවරුවේ ඇය ශල්‍යකර්මයකට භාජනය කිරීමෙන් පසු අසාධ්‍ය තත්ත්වයෙන් පසුවීම හේතුවෙන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබුවා.

පසුගිය මාස කිහිපයේදී ද පෙනහළුවල ආසාත්මිකතාවක් හේතුවෙන් තමිල්නාඩු මහ ඇමතිනිය වරින් වර රෝහල්ගතව ප්‍රතිකාර ලැබුවා.

සති දෙකකට පෙර ජයලලිතා රෝහල්ගත කෙරුණු ශ්වසනාබාධයෙන් මුළුමනින්ම පාහේ සුවය ලබා සිටි අතර, හදිසි ප්‍රතිකාර උපකරණ සහිතව පෞද්ගලික කාමරයකට ද මාරු කෙරුණා.

ඉන් අනතුරුවයි ඇය මෙලෙස හදිසියේ අසාධ්‍ය තත්ත්වයට පත්වූයේ.

ජයලලිතා මිය ගිය බව ඊයේ සන්ධ්‍යාවේ තමිල්නාඩුවේ ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබූ අතර රෝහල ප්‍රකාශ කළේ ඇය තවදුරටත් ජීවිතාරක්ෂක උපකරණවල සහයෙන් සිටින බවයි.

කෙසේ නමුත්, ඉන්දීය වේලාවෙන් ඊයේ රාත්‍රී 11.30ට පමණ ජයලලිතා ජයරාම් මිය ගිය බව චෙන්නායි ඇපලෝ රෝහල මධ්‍යම රාත්‍රියේ නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කළා.

අභාවප්‍රාප්ත වූ තමිල්නාඩු මහඇමතිනී ජයලලිතා ජයරාම්ගේ දේහය මේ වන විට චෙන්නායි නුවර රාජාජි ශාලාව වෙත මහජන ගෞරවය සඳහා රැගෙන විත් තිබෙනවා.

ජයලලිතාගේ අභාවයෙන් පසු චෙන්නායි නුවර ආරක්ෂක කටයුතු සඳහා පොලිස් නිලධාරීන් දහස් ගණනක් යොදවා ඇති අතර, දින 3ක කාලයක් එහි පාසල් වසා තැබීමටයි තීරණය කර ඇත්තේ.

ජයලලිතාගේ ඒ.අයි.ඒ.ඞී.එම්.කේ. පක්ෂයේ මහජන නියෝජිතයන්ගේ රැස්වීමක් පක්ෂ මූලස්ථානයේදී ඊයේ පැවැත්වුණා.

එහිදී තීරණය කර ඇත්තේ ජයලලිතාගේ අභාවයෙන් හිස්වූ තමිල්නාඩු මහඇමති ධුරයට තමිල්නාඩු මුදල් අමාත්‍යවරයා වන  ඕ. පන්නීර්සෙල්වම් පත් කිරීමටයි.

ජයලලිතාගේ අභාවය ඉන්දීය දේශපානයේ විශාල රික්තකයක් ඇති කරන බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළා.

මේ ශෝකාකූල අවස්ථාවේ තමා තමිල්නාඩු ජනතාව සමඟ එක්වන බවත්, දිරිමත් නායිකාවක වූ ජයලලිතා ගොඩනැගූ ශක්තිය ප්‍රශංසනීය බවත්, අග්‍රාමාත්‍ය මෝදි වැඩිදුරටත් කියා සිටියා.

ජයලලිතා චෙන්නායි නුවර ඇපලෝ රෝහලට ඇතුළත් කෙරුණේ පසුගිය සැප්තැම්බර් 22 වන දායි.

ඉන් දින 75කට පසුව ඇය මිය යන තුරුම වෛද්‍ය විශේෂඥයන් රැසක් ඇයට ප්‍රතිකාර කළ අතර, නවදිල්ලියේ සමස්ත ඉන්දීය වෛද්‍ය විද්‍යා ආයතනයේ මෙන්ම ලන්ඩනයේ සිට පැමිණි විශේෂඥයෙකු ද ඊට එක්වුණා.

තමිල්නාඩු මහඇමතිනී ජයලලිතා ශ්‍රී ලංකාව පිළිබඳ දැඩි මතයක එල්ඹ සිටි තැනැත්තියක වන අතර, මෙරට දෙමළ ජනතාව වෙනුවෙන් ඊළාම් රාජ්‍යයක් ගොඩනගන බවට ප්‍රාන්ත සභාවේ යෝජනාවක් ද සම්මත කර ගත්තා.

ඉන්දු - ශ්‍රී ලංකා ධීවර ගැටළුවට විසඳුම වන්නේ කච්චතිව් දූපත නැවත ඉන්දියාවට පවරා ගැනීම බව ඇගේ මතය වුණා.

එමෙන්ම මෙරට මුහුදු තීරය ආක්‍රමණය කරන ඉන්දීය ධීවරයන් සහ යාත්‍රා අත්අඩංගුවට පත් වන සෑම අවස්ථාවකදීම ඇය ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යැවීම සාමාන්‍ය සිද්ධියක් බවට පත්ව තිබුණා.

ඇයට බුහුමන් දැක්වීම සඳහා ලක්ෂ සංඛ්‍යාත තමිල්නාඩු වාසීන් හඩා වැලපෙමින් එහි රොක්ව සිටින අයුරු පහතින්.