ජයලලිතාට අවසන් ගෞරව දක්වන්න අති විශාල ජනකායක්

Tuesday, 06 December 2016 - 13:26

%E0%B6%A2%E0%B6%BA%E0%B6%BD%E0%B6%BD%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%A7++%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9E%E0%B6%BB%E0%B7%80+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%85%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8F%E0%B6%BD+%E0%B6%A2%E0%B6%B1%E0%B6%9A%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
අභාවප්‍රාප්ත තමිල්නාඩු මහඇමතිනී ජයලලිතා ජයරාම්ට බුහුමන් දැක්වීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, චෙන්නායි නුවරට පැමිණියා.

කෙසේ නමුත්, චෙන්නායි බලා නවදිල්ලියෙන් නික්මුණු ඉන්දීය ජනාධිපති ප්‍රනාබ් මුකර්ජිගේ ගුවන් යානයේ තාක්ෂණික දෝෂයක් ඇතිවීම නිසා එය නැවතත් නවදිල්ලිය වෙත හරවාගෙන යාමට සිදුවුණා.

වෙනත් ගුවන් යානයකින් ඉන්දීය ජනාධිපතිවරයා චෙන්නායි නුවර රාජාජි ශාලාව වෙත පැමිණෙනු ඇති.

එමෙන්ම කොංග්‍රස් පක්ෂ නියෝජ්‍ය සභාපති රාහුල් ගාන්ධි ද ඒ වෙනුවෙන් චෙන්නායි නුවරට පැමිණෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

දකුණු ඉන්දීය ද්‍රවිඩ සිනමාවේ සුපිරි තාරුකාවක්ව සිටි ජයලලිතාගේ අභාවය පිළිබඳව ඉන්දියාවේ දැනට සිටින ප්‍රවීනතම ද්‍රවිඩ සිනමා නළු රැජිණි ඛාන්ත් මෙන්ම බොලිවුඞ් තිරයේ ප්‍රවීනයෙකු වන අමිතාබ් භච්චන් ශෝකය පළ කරන තිබෙනවා.

රැජිණි ඛාන්ත් කියා සිටියේ ජයලලිතාගේ අභාවයෙන් තමිල්නාඩුවට පමණක් නොව සමස්ත ඉන්දියාවටම වීර දියණියක් අහිමි වූ බවයි.

1948 වසරේ පෙබරවාරි 24 වන දා දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ මයිසෝරයේ උපත ලද ජයලලිතා බැංගලෝර් නුවර උසස් බාලිකා විදුහලක සහ චෙන්නායි නුවර කන්‍යාරාමයක අධ්‍යාපනය ලැබුවා.

ඇගේ මව සන්ධ්‍යා දෙමළ සිනමා කර්මාන්තයේ නිළියක් වූ අතර පියාගේ ඇවෑමෙන් මව සමඟ ජයලලිතා චෙන්නායි නුවරට පැමිණියේ වයස අවුරුදු දෙකක්ව සිටියදීයි.

දක්ෂ සිසුවියක වුවද උසස් අධ්‍යාපනය ලැබීමට දුෂ්කරතා පැවති නිසා වයස අවුරුදු 15 දීම චිත්‍රපට රංගනයට පිවිසි ජයලලිතා දෙමළ, කණ්ණඩ, මලයාලම් මෙන්ම බොලිවුඞ් චිත්‍රපටවල ද රඟපෑවා.

එම්.ජී. ආර්. හෙවත් එම්.ජී. රාමචන්ද්‍රන් සමඟ චිත්‍රපට 28ක රඟපෑ ජයලලිතා පසුව ඔහු විසින් ආරම්භ කරන ලද ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. පක්ෂයට එක්වුණා.

එහි ප්‍රචාරක ලේකම්වරිය බවට පත්වූ ඇය ඉක්මනින්ම රාජ්‍ය සභා මන්ත්‍රීවරියක ද වුණා.

පසුව තමිල්නාඩු මහඇමතිවරයා වූ  එම්.ජී.ආර්. 1987 වසරේ මිය ගිය අතර ඉන් අනතුරුව ඒ.අයි.ඒ.ඩී.එම්.කේ පක්ෂය දෙකඩ වූයේ පාක්ෂිකයන්ගෙන් කොටසක් එම්.ජී.ආර්.ගේ නීත්‍යානුකූල බිරිඳ වූ ජානකීටත්, තවත් කොටසක් ජයලලිතාටත් සහය දැක්වීමත් සමඟයි.

කෙසේ හෝ ඇය 1991 වසරේ ප්‍රථම වරට තමිල්නාඩු මහඇමතිනිය ලෙස පත්වූ අතර, මිය යන තුරුම ඇය එම තනතුර දැරුවේ 5 වතාවක් එම තනතුරට තේරී පත්වීමෙන්.  

අභාවප්‍රාප්ත වූ තමිල්නාඩු මහඇමතිනී ජයලලිතා ජයරාම් වෙනුවෙන් දින 7ක ශෝක කාලයක් ප්‍රාන්ත රජය මගින් ඊයේ ප්‍රකාශයට පත් කළා.

එම කාලය තුළ සියලුම රජයේ ගොඩනැගිලිවල ජාතික ධජ අඩකුඹු කර තැබිය යුතු අතර, නිළ විනෝදාස්වාද කටයුතු තහනම් වනවා.

තමිල්නාඩුවේ පාසල් ඇතුළු සියලු  අධ්‍යාපන ආයතන දින 3ක් වසා තැබෙන අතර යාබද පුදුචෙරි ප්‍රදේශයේ ද සියලූම රජයේ කාර්යාල සහ අධ්‍යාපන ආයතන අද වසා තැබෙන්නේ ජයලලිතාට බුහුමන් දැක්වීමක් වශයෙන්.

ජයලලිතාගේ අවසන් කටයුතු අද පස්වරු 4.30ට මරීනා බීච් වෙරළේ එම්.ජී.ආර්.ගේ සොහොන අසළ සිදුකිරීමට නියමිතයි.

මේ අතර, ලක්ෂ සංඛ්‍යාත ජනයා තවදුරටත් ජයලලිතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා රාජාජි ශාලාව අසළ රොක්ව සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.