ජයලලිතා සමුගනී - චෙන්නායි නුවරට මහ සෙනඟක්

Tuesday, 06 December 2016 - 18:57

%E0%B6%A2%E0%B6%BA%E0%B6%BD%E0%B6%BD%E0%B7%92%E0%B6%AD%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B6%9C%E0%B6%B1%E0%B7%93+-+%E0%B6%A0%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B8%E0%B7%84+%E0%B7%83%E0%B7%99%E0%B6%B1%E0%B6%9F%E0%B6%9A%E0%B7%8A
අභාවප්‍රාප්ත තමිල්නාඩු මහ ඇමතිනි ජයලලිතා ජයරාම්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව චෙන්නායි මරීනා වෙරළ තීරයේදී අද (06) පස්වරුවේ සිදුකෙරුණා. ඇයගේ දේහය රැගත් දෙන මිහිදන් කෙරුණේ පූර්ණ රාජ්‍ය ගෞරව සහිතවයි.

දේහය තැන්පත් කර තිබූ රාජාජි ශාලාවේ සිට වීදුරු කුටියක තැන්පත් කර විශේෂ රිය පෙරහරකින් අවසන් කටයුතු සිදුකරන ස්ථානයට රැගෙන ආවේ චෙන්නායි නුවරට රැස්වු අතිවිශාල ජනකාය අතරින්.

දේහය දෙපස විශේෂ ආරක්ෂක කණ්ඩායම් කිහිපයක් යොදා තිබුණේ රැස්ව සිටි පිරිස පාලනය කර ගැනීමටයි.

ජයලලිතාට අවසන් ගෞරව දැක්වීම සඳහා ඉන්දීය ජනපති ප්‍රනාබ් මුඛර්ජි, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙන්ම කොංග්‍රස් පක්ෂයේ උප සභාපති රාහුල් ගාන්ධිද චෙන්නායි නුවරට පැමිණියා.

මේ අතර, තමිල්නාඩු මහඇමතිනී ජයලලිතා ජයරාම්ගේ අභාවය සම්බන්ධයෙන් ශෝකය පළ කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනද, ට්විටර් පණිවුඩයක් නිකුත් කළා.

එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ ජයලලිතා ඇගේ ජනතාවගේ ගෞරවාදරයට ලක්වූ නායිකාවක් බවයි.

එමෙන්ම ඇගේ ආදරණීයයන් සහ තමිල්නාඩු ජනතාව වෙත තම ශෝකය පිරිනමන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ජයලලිතා ජයරාම් ඉටුකළ පොදුජන මෙහෙවර සදානුස්මරණීය බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ට්විටර් පණිවුඩයක් මගින් සඳහන් කළේ තමිල්නාඩු මහඇමතිනී ජයලලිතා ජයරාම් ඉන්දියාවේ දෙමළ ජන ප්‍රජාවේ හදවත් දිනා ගෙන සිටි බවයි.

ඇගේ පවුලේ අය සහ තමිල්නාඩු ජනතාව වෙත තම ශෝකය පළ කරන බව හිටපු ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළා.

එසේම, තමිල්නාඩු මහඇමතිනියගේ අභාවය නිමිත්තෙන් උතුර පළාත් සභාව ද අද ශෝකය පළ කළා.

එහිදී ඇය පිළිබඳව ප්‍රකාශයක් කළ උතුර ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් සභාවේ වැඩ කටයුතු විනාඩි 10 කට කල් තබා තිබෙනවා.

උතුර පළාත් සභාව අද රැස්වුණේ යාපනය - කයිතඩි ප්‍රදේශයේ පිහිටි පළාත් සභා ගොඩනැගිල්ලේදියි.

ජයලලිතා ජයරාම් අසාධ්‍ය තත්ත්වයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ද උතුර ප්‍රධාන අමාත්‍යවරයා උතුරේ ජනතාව ඇයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බව සඳහන් කරමින් නිවේදනයක්ද නිකුත් කළා.

මේ අතර, අද පාර්ලිමේන්තුවේදී දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් අභාවප්‍රාප්ත තමිල්නාඩු මහඇමතිනී ජයලලිතා ජයරාම් වෙනුවෙන් ශෝකය පළ කිරීමේ ප්‍රකාශයක් ඉදිරිපත් කළා.

එසේම, නගරයේ වෙළඳසැල් වසා දමා තමිල්නාඩු මහඇමතිනී ජයලලිතා ජයරාම්ගේ අභාවයට ශෝකය පළ කිරීමට යාපනය වෙළඳ සංගමය පියවර ගත්තා.

තමිල්නාඩු මහඇමතිනී ජයලලිතා ජයරාම්ගේ අභාවය සම්බන්ධයෙන් වතුකරයේ ජනතාව ද ඇගේ ඡායාරූපවලට පුෂ්පෝපහාර දක්වමින් ආශිර්වාද පූජාවන් පැවැත් වූ බව හිරු වාර්තාකරුවන් ප්‍රකාශ කළා.

ඇතැම් ජනතාව දෛනික කටයුතුවලින් ඉවත් වී කෝවිල්වල ආශිර්වාද පූජාවන්ට එක්ව සිටීමද විශේෂත්වයක්.

අභාවප්‍රාප්ත වූ තමිල්නාඩු මහඇමතිනී ජයලලිතා ජයරාම් වෙනුවෙන් දින 07 ක ශෝක කාලයක් ප්‍රාන්ත රජය මගින් ඊයේ (05) ප්‍රකාශයට පත් කළා.

එම කාලය තුළ සියලූම රජයේ ගොඩනැගිලිවල ජාතික ධජ අඩකුඹු කර තැබිය යුතු අතර, නිළ විනෝදාස්වාද කටයුතු තහනම් වනවා.

තමිල්නාඩුවේ පාසල් ඇතුළු සියලූ අධ්‍යාපන ආයතන දින 3ක් වසා තැබෙන අතර යාබද පුදුචෙරි ප්‍රදේශයේ ද සියලූම රජයේ කාර්යාල සහ අධ්‍යාපන ආයතන අද වසා තැබෙන්නේ ජයලලිතාට බුහුමන් දැක්වීමක් වශයෙන්.

මේ අතර, ජයලලිතාගේ අභාවය සැලවීමත් සමඟ තමිල්නාඩු වැසියෙකු හෘදයාබාධයකින් මියගොස් තිබූ අතර, තවත් අයෙකු සිරුරට ගිනි තබාගෙන සියදිවි නසාගෙන තිබුණා.

එසේම අති විශාල පිරිසක් හිස බූ ගාමින් ඇයගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කළ බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ.

පසුගිය මාස කිහිපයේදී ද පෙනහළුවල ආසාත්මිකතාවක් හේතුවෙන් රෝගාතුරව සිටි තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් චෙන්නායි නුවර පෞද්ගලික රෝහලකට ඇතුළත් කෙරුණේ පෙරේදා රාත්‍රියේයි.

එහිදී ඇයට ඇති වූ හදිසි හෘදයාබාධයකට ඊයේ අලුයම සිට විශේෂ වෛද්‍ය කණ්ඩායමක් ඇයට ප්‍රතිකාර කළා.

කෙසේ වෙතත්, පස්වරුව වනවිට රෝහල නිවේදනය කළේ ජයලලිතා ජයරාම්ගේ හෘදය අකර්මණ්‍යව ඇය ජීවිතාධාරක යන්ත්‍රවල සහයෙන් සිටින බවයි.

තමිල්නාඩු ප්‍රාන්තයේ දේශපාලන ප්‍රබලයන් විටින් විට රෝහලට පැමිණෙද්දී විශාල ජනතාවක් රෝහල ඉදිරිපිට ජයලලිතා ජයරාම්ගේ සුවය වෙනුවෙන් දෙවියන්ට කන්නලව් කළා.

ඒ අතරතුර තමිල්නාඩු මාධ්‍ය කිහිපයක් වාර්තා කළේ ජයලලිතා ජයරාම් මියගිය බවටයි.

එම පුවත සැලවීමත් සමග රෝහල ඉදිරිපිට උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තා.

තත්ත්වය පාලනය කිරීමට පොලිසිය උත්සාහ දරද්දී මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරමින් රෝහල් බලධාරින් සදහන් කළේ ජයලලිතා ජයරාම් තවමත් ජීවත් වන බවටයි.

කෙසේ වෙතත්, ඉන් පැය 5 කට පමණ පසු තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් මියගිය බවට රෝහල නිවේදනය කළා.

එම නිවේදනයත් සමග ඇගෙන් හිස් වූ ප්‍රධාන අමාත්‍ය ධුරයට සහ පක්ෂ නායකත්වයට පත් කෙරුණේ ඕ.පනීර් සෙල්වම්.

දේශපාලන ලෝකයේ යකඩ ගැහැණිය ලෙස ද තමිල්නාඩු ජනතාවගේ අම්මා ලෙසද විරුදාවලිය ලත් ජයලලිතා ජයරාම්ට 1948 වසරේ පෙබරවාරි 24 දින උපතේදී ඇගේ මිත්තනිය ලබාදුන් නමි‘කොමලවාලි‘‘යි.

සිය ළමා කාලය ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ ගත කළ ජයලලිතා දෙමළ, තෙළිගු, කන්නඩා, හින්දි ,මලයාලම් සහ ඉංග්‍රීසි භාෂාව චතුරව හැසිරවීමට සමත්.

මේ හැකියාව නිසා පසුකාලීනව ජයලලිතා දේශපාලනයට ප්‍රවිශ්ඨ වුවද ඊට පෙර ඇය දකුණු ඉන්දියාවේ ප්‍රකට සිනමා තාරකාවක්ව සිටියා.

1961 – 1980 කාලය තුළ ඇය රගපෑ දමිල, තෙලිගු සහ කන්නඩා චිත්‍රපට ගණන 140 කට අධිකයි.

ඉන් බහුතරයක ඇය සමග රංගනයෙන් දායක වන්නේ කොලිවුඩයේ ප්‍රකට නළු රාමචන්ද්‍රන් නොහොත් එම්.ජී.ආර් දෙදෙනා අතර දිගු කාලීන සමීප සම්බන්ධතාවයක් පැවැති අතර,  1982 වසරේදී ජයලලිතා දේශපාලනයට ප්‍රවිශ්ට කිරීමට මුලිකත්වය ගත්තේද ඔහුයි.

1984 මැතිවරණයෙන් ඉන්දීය රාජ්‍ය සභාවට ද තේරී පත්වන ජයලලිතා ඒ.අයි.ඒ.ඩී.එම්.කේ පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ එම්.ජී.ආර්. ගේ අභාවයෙන් පසු එම තනතුරට නිල වශයෙන් පත්වන්නේ 1987 වසරේදීයි.

වසර ගණනාවක් පැවැති එම්, කරුණානිධිගේ ආධිපත්‍යය බිඳ දමමින් 1991 වසරේදී ජයලලිතා ජයරාම් පළමු වරට තමිල්නාඩු ප්‍රාන්ත මහ ඇමති ධුරයට වන්නේ එම ධුරයට පත්වූ ලාබාලතම පුද්ගලයා හා ප්‍රථම කාන්තාව වෙමින්.

2001 හා 2014 දෙවසරේදීම ඇයට ධුරයෙන් ඉවත් වීමට සිදුවුයේ එල්ල වූ දූෂණ චෝදනාවන්ට වරදකරු වීම හේතුවෙන්.

ඒ සෑම අවස්ථාවකදීම අභියාචනා මගින් ජයලලිතා යළි මහ ඇමති ලෙස පත්වීමට සමත් වනවා.

අනතුරුව 2016 මැතිවරණය ද ජයලලිතා ජය ගනිමින් තමිල්නාඩු මහ ඇමති ධුරයේ ඇය යළිත් දිවුරුම් දෙන්නේ සය වරක් දිවුරුම් දුන් ප්‍රථමයා වෙමින්.

1967 වසරේදී සීරිමා - ශාස්ත්‍රී ගිවිසුම මගින් ශ්‍රී ලංකාවට පවරා දුන් කච්චතිව් දූපතේ අයිතිය යළි ඉන්දියාවට පවරාගත යුතු බවට වරක් ජයලලිතා  යෝජනා කළේ දෙරටේ රජයන් ඇයගේ ප්‍රකාශ තැකීමකට ලක් නොකළ පසුබිමකයි.

ජයලලිතා සැලකෙන්නේ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ගේ ඊළාම් සිහිනයට පක්ෂග්‍රාහී ලෙස නිරන්තරයෙන්ම අදහස් පළ කළ අයෙක් ලෙසින්.