Update : හම්බන්තොට වරාය නොසන්සුන් වෙයි

Saturday, 10 December 2016 - 8:07

Update+%3A+%E0%B7%84%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7+%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA+%E0%B6%B1%E0%B7%9C%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
හම්බන්තොට වරාය පරිශ්‍රයේ උද්ඝෝෂණයක නිරත වරාය සේවකයන් හා ආරක්ෂක අංශ අතර උණුසම් තත්වයක් ඇතිවී තිබෙනවා.

Update : Saturday, December 10, 2016 11.43
------------------------------------------------------

තමන් වරාය අධිකාරියට අනුයුක්ත කරන ලෙස ඉල්ලා මාගම්පුර කළමනාකරණ පුද්ගලික සමාගමේ සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනය සහ සත්‍යග්‍රහය තවදුරටත් ක්‍රියාත්මකයි.  

මාගම්පුර වරායේ මහල් 14 කින් සමන්විත පරිපාලන ගොඩනැගිල්ලේ ඉහළම මහලේ එක් පිරිසක් ද, වරායට පැමිණි නෞකාවක් අසළ මුහුදේ තවත් පිරිසක් සහ ප්‍රධාන දොරටුව ඉදිරිපිට තවත් පිරිසක් ද මෙලෙස සත්‍යග්‍රහයේ නිරත වන බවයි වාර්තා වන්නේ.

සේවකයන් වර්ජනයේ නිරතවීම හේතුවෙන් වරායට පැමිණි නැව් දෙකකට ඉන් පිටවීමට නොහැකි වී තිබෙන බව ද අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා.

තමන් වරාය අධිකාරියට අනුයුක්ත කරන ලෙස ඉල්ලා අදාළ සමාගමේ සේවකයින් 483 දෙනෙකු වර්ජනයක් ආරම්භ කළේ පසුගිය 7 වන දායි.

පෙරේදා වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග ද එහි පැමිණ සේවකයින් සමග සාකච්ඡාවක නිරත වූ අතර, එම සාකච්ඡාව අසාර්ථක වුණා.

මේ අතර, හම්බන්තොට වරාය, රාජ්‍ය සහ පෞද්ගලික හවුල්කාරිත්වයක් සහිතව ප්‍රති සංවර්ධනය කිරීම සදහා ලක් රජය, චීන රජයට අනුබද්ධ චයිනා මර්චන්ට්ස් පෝර්ට් හොල්ඩින්ග්ස් සමාගම සමග මූලික අවබෝධතාවන් ගිවිසුම් රාමුවකට පෙරේදා පස්වරුවේ අත්සන් තබනු ලැබුවා.

චීන සමාගම විසින් සිදුකිරීමට නියමිත නිසි ඇගයීම් ක්‍රියාවලියකට පසු ඊට අදාළ අනුග්‍රාහක ගිවිසුමට අත්සන් තැබීමට නියමිත බවයි සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළද අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ.

අවබෝධතා රාමු ගිවිසුමට අත්සන් තැබීමත් සමග අවසන් ගිවිසුමේ කොන්දේසි පිළිබද සාකච්ඡා ක්‍රියාත්මක වනු ඇති.

ඒ අනුව,චීන ආයෝජකයාට එහි සියයට 80 ක අයිතියක් පැවරීමටයි යෝජනා වී ඇත්තේ.

චීන සමාගම මාගම්පුර වරායේ ප්‍රතිසංවර්ධන කටයුතු සදහා ඇමරිකානු ඩොලර් බිලියන 1.12ක් ආයෝජනය කරන අතර, ඉන් ඩොලර් මිලියන 5 ක් අවබෝධතා රාමු ගිවිසුමට අත්සන් තැබීමත් සමග සුරක්ෂිතයක් ලෙස වහා ගෙවිය යුතු වනවා.