ශ්‍රී ලංකාවෙන් උගත හැකි පාඩම් රැසක් තිබෙන බව තජිකිස්ථාන ජනපති කියයි

Tuesday, 13 December 2016 - 16:24

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%9C%E0%B6%AD+%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92+%E0%B6%B4%E0%B7%8F%E0%B6%A9%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%99%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%AD%E0%B6%A2%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ව්‍යාපාරික ක්‍ෂේත්‍රය සංවර්ධනය කරගැනීම සඳහා ශ්‍රී ලංකාවෙන් උගත හැකි පාඩම් රැසක් තිබෙන බව තජිකිස්ථාන ජනාධිපති එමෝමාලි රාමෝන් ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ අද පැවති සාකච්ඡාවකදී.

හමුදා උත්තමාචාර මධ්‍යයේ තජිකිස්ථාන ජනාධිපතිවරයා ඇතුලු නියෝජිත පිරිස පිළිගත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය කිරීම සම්බන්ධයෙන් දෙරට අතර සහයෝගීතාව වර්ධනය කිරීම අත්‍යාවශ්‍ය බව ප්‍රකාශ කළා.

තමන්ට ශ්‍රී ලංකාවට පැමිණීමට කළ ආරාධනයට ස්තූති කළ තජිකිස්ථාන ජනාධිපති එමෝමාලි රාමෝන් එරට සංචාරයක නිරතවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට මෙහිදී ආරාධනා කර සිටියා.

දෙරට අතර පවත්නා සබඳතා වර්ධනය කරගැනීමේ මුල් පියවර වශයෙන් රාජ්‍ය නායකයන් දෙදෙනා අද ගිවිසුම් කිහිපයකට අත්සන් කළා.

සංචාරක, කායික අභ්‍යාස සහ ක්‍රීඩා, ජාත්‍යන්තර වෙළඳාම ආදී ක්‍ෂේත්‍ර ඒ අතර වනවා.

තජිකිස්ථාන ව්‍යාපාරිකයන්ට ශ්‍රී ලංකාවේ ආයෝජන සිදුකිරීමට සහ ව්‍යාපාර අවස්ථා හඳුනාගැනීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මෙහිදී විවෘත ආරාධනයක් සිදුකිරීමද විශේෂත්වයක්.

මේ අතර තුන්දින නිල සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අනිද්දා මැලේසියාව බලා පිටත්ව යනවා.

එහිදී මැලේසියානු රාජ්‍ය නායකයින් හමුවන ජනාධිපතිවරයා ශ්‍රී ලංකා -මැලේසියානු තානාපති සබඳතා අරඹා 60 වසරක් සපිරීම වෙනුවෙන් පැවැත්වෙන සැමරුම් උළෙලකටද එක්වීමට නියමිතයි.

ජනාධිපතිවරයාගේ සංචාරයට සමගාමීව දෙරට අතර නව ද්විපාර්ශවික ගිවිසුම් කිහිපයකටද අත්සන් තබන බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළා.