නොවැම්බර් මාසයේ අපරාධවල අඩුවක්

Thursday, 15 December 2016 - 10:03

%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B7%80%E0%B6%BD+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
නොවැම්බර් මාසයේදී බරපතල ගණයේ අපරාධ සිදුවීම්වල අඩුවක් පෙන්නුම් කරන බව පොලිසිය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මුලස්ථානය සඳහන් කලේ නොවැම්බර් මාසය අවසාන වන විට දිවයිනෙන් බරපතල ගණයේ අපරාධ 7592 ක් වාර්තාවී ඇති බවයි.

මනුෂ්‍ය ඝාතන / ලිංගික අපරාධ / ගෙවල් බිඳුම් / කොල්ලකෑම් සහ සොරකම් මිට අයත්.

ඒ අතරින් නොවැම්බර් මාසයේ ප්‍රධාන අපරාධ 575 ක් වාර්තාවී ඇති අතර මනුෂ්‍ය ඝාතන 39 ක් / ලිංගික අපරාධ 198 ක් / ගෙවල් බිඳුම් 153 ක් / කොල්ලකෑම් 64 ක් සහ සොරකම් 121 ක් වනවා.

පොලිසිය නිවේදනය කලේ එය පසුගිය වසරේ නොවැම්බර් මාසයට සාපේක්ෂව අපරාධ 90 ක අඩුවීමක් බවයි.

එමෙන්ම එය මෙම වසරේ ඔක්තෝම්බර් මාසයට වඩා අපරාධ 16 ක අඩුවීමක්.

2016 වසරේ නොවැම්බර් මාසයේ වැඩිම බරපතල ගණයේ අපරාධ සංඛ්‍යාව 170 ක් වන අතර එය වාර්තාවී ඇත්තේ බස්නාහිර පළාතෙන්.

එය දිවයිනෙන්ම වාර්තාවු අපරාධ සංඛ්‍යාවෙන් 29% ක් වනවා.

පසුගිය නොවැම්බර් මාසයේදී දිවයිනේ සිදුවු බරපතල ගණයේ අපරාධ විශ්ලේෂණය කර බැලීමේදී පුද්ගල ඝාතන 39 ක් පොලිස් කොට්ඨාශ 19 ක් තුල සිදුව ඇතැයි සඳහන්.

ලිංගික අපරාධ 198 ක් ඇති අතර ඉන් 152 ක් ස්ත්‍රී දුෂණ වනවා.

ඉන් ප්‍රේම සම්බන්ධතා මත සිදුව ඇති ස්ත්‍රී දුෂණ ගණන 115 ක්.

මේ සඳහා ගොදුරු වන්නේ අවුරුදු 16 ට අඩු බාලවයස්කාර දැරියන් වන අතර එහි වර්ධනයක් පෙන්නුම් කෙරෙන බවයි පොලිසිය පෙන්වා දෙන්නේ.

නිවාස 112 ක් සහ වෙළඳසැල් 41 ක් සොරුන් විසින් බිඳ ඇති අතර ඉන් සිදුවීම් 59 ක් වාර්තාවී ඇත්තේ දිවා කාලයේදීයි.

නොවැම්බර් මාසයේ වාර්තාවු කොල්ලකෑම් සංඛ්‍යාව 64 ක්.

පසුගිය සැප්තැම්බර් මාසයේදී යතුරුපැදිවලින් පැමිණ කල කොල්ලකෑම් 21 ක් / ඔක්තෝම්බර් මාසයේ 17 ක් සහ නොවැම්බර් මාසයේ 15 ක් ලෙසට ද අඩුවී තිබෙනවා.

ඔක්තෝම්බර් මාසයට සාපේක්ෂව සොරකම් 19 ක අඩුවිමක් පෙන්නුම් කෙරෙනවා.

වාහන සොරකම් සංඛ්‍යාව ඔක්තෝම්බර් මාසයට සාපේක්ෂව 6 ක අඩුවීමක් පෙන්නුම් කල ද සාපේක්ෂව සමාන්තර අගයක් සටහන් වනවා.

මෙම වසරේ ජනවාරි මුල සිට නොවැම්බර් අග දක්වා සිදුවු වාහන සොරකම් සංඛ්‍යාව 1058 ක් වු අතර එය පසුගිය වසරේ අදාළ කාල සීමාව තුල සටහන් වුයේ 1052 ක් ලෙසටයි.

මේ අනුව සලකා බැලීමේදී 2016 වසරේ නොවැම්බර් මාසය තුල දිවයිනේ බරපතල ගණයේ අපරධ සිදුවීම් අඩුවී ඇති බවට දැක්විය හැකි බවයි පොලිසිය නිකුත්කල නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

මේ  අතර පොලිසිය වැලිකඩ ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී වරෙන්තුකරුවන් තිදෙනෙකු ඇතුළු සැකකරුවන් 36 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ සැකකරුවන් අලුත්කඩේ  මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි.

අලුයම 5 සිට මධ්‍යහන 12 දක්වා කාලය තුළ වැලිකඩ පොලිසියේ නිලධාරින් හා විශේෂ රාජකාරී නිලධාරීන් ඇතුළු කණ්ඩායම් 4 ක් මෙම වැටලිම සිදුකර තිබෙනවා.

එහිදී හෙරොයින් ළඟ තබා ගැනීම හේතුවෙන් සැකකරුවන් 5 දෙනෙක්, කංසා ළඟ තබාගත් සැකකරුවන් 5 දෙනෙක් සහ වරෙන්තුකරුවන් තිදෙනෙකු ඇතුළු 36 දෙනෙකු අත්ඩංගුවට ගත් බව පොලිසිය පවසනවා,

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැලිකඩ හා පිළියන්දල යන ප්‍ර දේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.