මාගම්පුර වරාය සේවක වර්ජනය අවසන් (ඡායාරූප)

Thursday, 15 December 2016 - 19:13

%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%94%E0%B6%BB+%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
තමන්ව වරාය අධිකාරියට අනුයුක්ත කරන ලෙස ඉල්ලා මාගම්පුර වරාය කළමනාකරණ පුද්ගලික සමාගමේ සේවකයින් දින 9 ක් තිස්සේ දියත් කළ සත්‍යග්‍රහය අද (15) දහවල් අවසන් කළා.

එහිදී මාධ්‍ය අමතමින් මාගම්පුර වරාය සේවක කමිටුවේ සභාපති අයි.කේ.ඔමේෂ් ප්‍රකාශ කළේ වරාය අමාත්‍ය අර්ජුන රණතුංග සමග ඊයේ පැවති සාකච්ඡාවෙන් පසු සේවකයින් සමඟද සාකච්ඡා කර මෙම තීරණය ගත් බවයි.

වරාය සේවකයින් පසුගිය 7 වනදා වැඩ වර්ජනයක් ආරම්භ කළ අතර, පසුව, ඔවුන් වරායේ පිවිසුම් දොරටුව ඉදිරිපිට සිට සත්‍යග්‍රහයක් ආරම්භ කළා.

කෙසේ වෙතත්, කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය අර්ජුන රණතුංග කියා සිටියේ සත්‍යග්‍රහයේ නිරත වරාය සේවකයින් අද (15) පස්වරු 2 ට පෙර සේවයට වාර්තා නොකළහොත් ඔවුන් සේවය අතහැර ගියා සේ සැලකීමට කටයුතු කරන බවයි.

එමෙන්ම, හම්බන්තොට මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න ඊයේ සත්‍යග්‍රහයේ නිරත වූ සේවකයින්ට නියෝගයක් ද නිකුත් කළා.

ඒ වරායේ දේපලවලට සහ එහි දෛනික කටයුතුවලට බාධා කිරීමෙන් වලකින ලෙස දන්වමින්.

කෙසේ වෙතත්, වරාය අමාත්‍ය අර්ජුන රණතුංග කෙරෙහි විශ්වාසය තබා සත්‍යග්‍රහය අවසන් කළ බවයි මාධ්‍ය අමතමින් මාගම්පුර වරාය සේවක කමිටුවේ ලේකම් ගයාන් සඳරුවන් කියා සිටියේ.

සේවක සත්‍යග්‍රහය නිමා කිරීමෙන් අනතුරුව මාගම්පුර වරායේ තත්ත්වය පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය කරුණු විමසුවේ එහි සාමාන්‍යාධිකාරි සරත් පෙරේරාගෙන්. ඔහු කියා සිටියේ සත්‍යග්‍රහයේ නිරත වූ බොහෝ සේවකයින් මේ වනවිට සේවයට වාර්තා කර ඇති බවයි.





ඡායාරූප - හම්බන්තොට සනත් ගමගේ