විමල් පරීක්ෂණ මඟ හරින බව පොලීසිය උසාවියට කියයි

Friday, 16 December 2016 - 19:17

%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%B8%E0%B6%9F+%E0%B7%84%E0%B6%BB%E0%B7%92%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%8B%E0%B7%83%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අදත් පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාශය වෙත පැමිණ ප්‍රකාශයක් ලබාදුන්නා.

ඒ, ඔහුට අයත් බව කියන හොලෝ කෝප් සමාගමට දේපල ලබා ගත් ආකාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළවයි.

මේ අතර, ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට ලබන 28 සහ 29 යන දෙදින තුළ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද නියෝග කළා.

ඒ, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය කළ ඉල්ලීමක් සලකා බලමින්.

රජයේ වාහන අවභාවිතාවක් සම්බන්ධයෙන් ඔහුගේ සොහොයුරු සරත් වීරවංශ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර ඇතුළු 5 දෙනෙකු සම්බන්ධයෙන් පොලිස් අපරාධ මූල්‍ය කොට්ඨාශය මීට අදාළ නඩුව ගොනුකර තිබෙනවා.  

එහිදී පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ නිලධාරින් අධිකරණයට දැනුම් දුන්නේ සිද්ධියට අදාළ විමර්ශන කඩිනම් කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගෙන් ප්‍රකාශ ලබා ගැනීමට අවශ්‍ය වුව ද ඔහු නියමිත දිනයන්හි දී මූල්‍ය අපරාධ කොට්ඨාශ හමුවේ පෙනී නොසිටින බවයි.

ඇතැම් අවස්ථාවල ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටියදී විශේෂ වැඩකටයුතු වලට යාමට අවශ්‍ය බව සඳහන් කරමින් ඉන් පිටව යන බව ද ඔවුන් වැඩිදුරටත් කියා සිටියා.

එසේම ඇමරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය ද ලබන 23 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද නියෝග කළා.

ඒ ඔහු විසින් ඉදිරිපත් කර තිබූ ඇප අයදුම ද ප්‍රතික්ෂේප කරමින්.

තානාපති කාර්යාලයට ගොඩනැගිල්ලක් මිලදී ගැනීම සඳහා රුපියල් පන්කෝටි දාහත් ලක්ෂයකට ආසන්න රජයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනාව යටතේ ඔහු අත්අඩංගුවට ගැණුනේ පසුගිය නොවැම්බර් මස 18 වනදායි.

මේ අතර, තමන්ට විදේශ ගත වීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක ඉදිරිපත් කර තිබූ පෙත්සමක් ද කොළඹ මහාධිකරණය අද ප්‍රතික්ෂේප කළා.

ඒ, එම පෙත්සම මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන හමුවේ සලකා බැලූ අවස්ථාවේදීයි.

විදෙස් ගතව සිටින තම දියණිය බැලීම සඳහා අවසර ලබාදෙන ලෙස ඔහු සිය පෙත්සම මගින් ඉල්ලා තිබුණා.

කෙසේ වෙතත්, මෙය හදිසි අවශ්‍යතාවයක් නොවන බැවින් පෙත්සම ප්‍රතික්ෂේප කරන බවයි විනිසුරුවරිය සඳහන් කළේ.