වර්ජනයෙන් තැපෑල අදත් අඩාලයි

Wednesday, 21 December 2016 - 13:08

%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%90%E0%B6%B4%E0%B7%91%E0%B6%BD+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%A9%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
තැපැල් සේවකයින් ආරම්භ කර ඇති සංකේත වැඩවර්ජනය නිසා අදත් තැපැල් කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තැපැල් කාර්යාල වසා දමා ඇති අතර වර්ජනය හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුවේ පමණක් ලිපි ලක්ෂ 10 ක් පමණ ගොඩ ගැසී ඇති බවයි වර්ජනයේ නිරත වෘත්තීය සමිති ප්‍රකාශ කළේ.

ඊට අමතරව බෙදීමට නොහැකි වූ ලිපි විශාල ප්‍රමාණයක් දිවයිනේ සෑම තැපැල් ස්ථානයකම ගොඩගැසී ඇති බව වාර්තා වනවා.

එළඹෙන නත්තල වෙනුවෙන් සහ අලුත් අවුරුදු සමය හේතුවෙන් බොහෝ පිරිසක් යොමුකර ඇති සුබ පැතුම්පත් සහ තෑගි භාණ්ඩ ද ඒ අතර වන බවයි තැපැල් සේවකයින් කියා සිටියේ.

උසස්වීම් සහ බඳවාගැනීම් පටිපාටියේ පවතින අක්‍රමිකතා ඉවත් කිරීම ඇතුලු ඉල්ලීම් හතක් මුල් කර ගනිමින් තැපැල් සේවකයින් පැය 48 ක වැඩවර්ජනයක් ආරම්භ කළේ පෙරේදා මධ්‍යම රාත්‍රියේයි.

වැඩ වර්ජනය හේතුවෙන් තැපැල් සේවාව බිඳ වැටීම වැළැක්වීමට සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගත්තා.

කෙසේ වෙතත් මධ්‍යම තැපැල් හුවමාරුව මෙන්ම දිවයිනේ අනෙකුත් තැපැල් කාර්යාලවල සේවකයින් බොහෝමයක් අද දිනයේ සේවයට වාර්තා කර නොමැති බවයි හිරු වාර්තාකරුවන් කියා සිටියේ.

මේ අතර වර්ජනයේ නිරත තැපැල් සේවකයින් තැපැල් මූලස්ථානය ඉදිරිපිට සිට ජනාධිපති කාර්යාලය දක්වා පාගමනක නිරත වීමට සැලසුම් කර තිබෙනවා.

ඒ ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට සිය ඉල්ලීම් ඇතුළත් සංදේශයක් භාරදීම සඳහායි.